දුම්කොළ සමාගමෙන් රජයට බිලියන 87 ක බදු ආදායමක්

    February, 28, 2017

    ලංකා දුම්කොළ සමාගම විසින් 2016 දෙසැම්බර් 31 න් අවසන් මූල්‍ය වර්ෂය වෙනුවෙන් රුපියල් බිලියන 87.4 ක බදු ආදායමක් රජයට ලබා දී තිබේ.

    කෙසේ වෙතත් මෙහිදී සමාගම අවධාරණය කර සිටින්නේ 2016 සිව්වන කාර්තුවේ දී සිදුකරන ලද දුම්කොළ බදු ඉහළ දැමීම හා නොවැම්බර් මාසයේ දී වැට් බදු හඳුන්වා දීම අනුව සිදුවූ අලෙවිය පහත වැටීම හරහා රුපියල් බිලියන 13.2 ක සුරාබදු ආදායමක් රජයට අහිමි වී ඇති බවයි. එසේම මෙම බදු ඉහළ දැමීම හේතුවෙන් සිදුවූ අහිතකර තත්ත්වයන් මත 2017 ආරම්භයේ දී සිය දුම්කොළ රැස්කරන ගුදම් දෙකක් වසා දැමීමට ද සමාගමට සිදුවූ බව ලංකා දුම්කොළ සමාගම වැඩිදුරටත් කියා සිටී.

    මේ අතර සමාගම 2016 වසර අවසානයේ දී රුපියල් මිලියන 12,559 ක බදු ගෙවීමෙන් පසු ලාභයක් වාර්තා කර තිබෙන අතර සියයට 18 ක ලාභ වර්ධනයකි. එසේම 2016 සිව්වන කාර්තුවේ දී ලංකා දුම්කොළ සමාගමේ බදු ගෙවීමෙන් පසු ලාභය රුපියල් මිලියන 1,981 ලෙසින් සටහන් වන අතර එය පෙර වසරේ අනුරූප කාර්තුව හා සැසඳීමේ දී සියයට 8 ක ඉහළ යාමකි.