දුම්කොළ සමාගම ආණ්ඩුවට බිලියන 91.6 ක් බදු ගෙවයි

    February, 22, 2016

    ලංකා දුම්කොළ සමාගම 2015 මූල්‍ය වර්ෂය තුළ දී රුපියල් බිලියන 91.6 ක බදු මුදලක් රජය වෙත ගෙවා ඇති බව ප්‍රකාශ කර සිටී. සමාගම මේ බව අනාවරණය කරනුයේ 2015 වර්ෂය සඳහා වන මූල්‍ය වාර්තා එළිදක්වමිනි.

    මෙහිදී වැඩිදුරටත් සමාගම ප්‍රකාශ කර සිටින්නේ මෙම බදු මුදල තුළ සමාගම විසින් 2015 දෙසැම්බර් කාර්තුවේ දී ගෙවන ලද රුපියල් බිලියන 3.8 ක සුපිරි වාසි බද්දක් ද අන්තර්ගත වන බවයි.

    මේ අනුව 2014 වසර වෙනුවෙන් සමාගම රජයට ගෙවා ඇති බදු මුදල වන රුපියල් බිලියන 73.6 ට වඩා 24% ක වැඩි දායකත්වයක් රජයේ ආදායමට ලබා දීමට ලංකා දුම්කොළ සමාගම 2015 වසරේ දී පියවර ගෙන ඇත.

    2015 වසර සඳහා සමාගමේ ලාභය රුපියල් බිලියන 10.6 ක් ලෙසින් වාර්තා වන අතර 2014 වසරේ ලාභය වූ රුපියල් බිලියන 8.6 ට වඩා පසුගිය වසරේ දී 23% කින් මේ අනුව ලාභය වර්ධනය වී තිබේ.

    මේ අතර ලංකා දුම්කොළ සමාගමේ ආදායම ද රුපියල් බිලියන 87.9 සිට රුපියල් බිලියන 106.49 දක්වා 21% කින් 2015 වර්ෂය තුළ දී ඉහළ ගොස් ඇත.