දුම්රිය, තැපෑල, ලංගම ජනතා මුදල් ගිල්ලෙ මෙහෙමයි

    June, 4, 2014

    රාජ්‍ය ව්‍යාපාරවල මෙහෙයුම් අලාභය පියවා ගැනීම සඳහා ගිය වසරේදී අයවැය මගින් රජය ලබාදුන් සහනාධාර 2012 වසරට සාපේක්ෂව රුපියල් බිලියන 02 කින් වැඩිවී තිබේ.

    මේ අනුව, 2013 අයවැය මගින් රාජ්‍ය ව්‍යාපාරවල මෙහෙයුම් අලාභ පියවා ගැනීමට රුපියල් බිලියන 13.8 ක මුදලක් ලබාදී තිබෙන අතර 2012 දී ලබාදී තිබුණේ රුපියල් බිලියන 11.8 ක මුදලකි.

    විශ්ලේෂකයින් පවසන්නේ මේ තුළින් පෙන්නුම් කරන්නේ රාජ්‍ය ව්‍යාපාරවල මූල්‍ය තත්ත්වය වැඩි දියුණු කිරීමට තිබෙන දැඩි අවශ්‍යතාවය බවයි.

    ගිය වසරේදී දුම්රිය දෙපාර්තමේන්තුව සහ තැපැල් දෙපාර්තමේන්තුව වෙනුවෙන් පමණක් රුපියල් බිලියන 08 ක් අයවැය මගින් ලබාදී තිබෙන අතර 2012 වසරේදී ලබාදී තිබුණේ රුපියල් බිලියන 7.1 කි.

    ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ අලාභය පියවා ගැනීම සඳහා ගිය වසරේදී රුපියල් බිලියන 5.1 ක් ලබාදී තිබෙන අතර ගුවන් විදුලි සංස්ථාව, තල් සංවර්ධන මණ්ඩලය, ලංකා ධීවර වරාය සංස්ථාව වැනි අනිකුත් රාජ්‍ය ව්‍යාපාරවල අලාභය පියවා ගැනීම සඳහා රුපියල් මිලියන 700 ක් ලබාදී ඇත.

    2013 වසරේදී දුම්රිය දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 5.2 ක මෙහෙයුම් අලාභයක් ලබා තිබෙන අතර ගමනා ගමන මණ්ඩලයේ මෙහෙයුම් අලාභය රුපියල් බිලියන 4.3 කි.

    රජයේ බදු ආදායම අඩුවීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිරන්තරයෙන් කතා කරන අතර ජනතාවගෙන් එකතු කර ගන්නා බදු මුදල් මෙම ආයතන විසින් මේ ආකාරයෙන් ගිල ගනිමින් සිටීම ගැන වඩාත් අවධානය යොමුකළ යුතුවේ.