දුම්රිය මාර්ග තනන්න දෙනතුරු ඉන්දියාව බලාසිටී

    January, 28, 2016

    මෙරට දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා තවදුරටත් සහාය දැක්වීමේ බලාපොරොත්තුවෙන් පසුවන බව IRCON ඉන්ටර්නැෂනල් ලිමිටඩ් හි ව්‍යාපෘති අධ්‍යක්ෂ එස්.එල්. ගුප්තා මහතා පැවසීය. ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

    මෙලෙස IRCON ඉන්ටර්නැෂනල් ලිමිටඩ් විසින් බලාපොරොත්තු වන ව්‍යාපෘති වන්නේ අනුරාධපුර-ඕමන්තේ, අනුරාධපුර-මාහෝ හා මාහෝ-පොල්ගහවෙල දක්වා වන කිලෝමීටර 60 බැගින් වූ දුම්රිය මාර්ගයන්ය.

    මෙම ව්‍යාපෘතිවල වටිනාකම ඩොලර් මිලියන 468 ක් වන අතර මීට පෙර ඉන්දියානු ආධාර අනුව ලැබුණු ඩොලර් මිලියන 800 කින් වියදම් නොවූ ඩොලර් මිලියන 150 ක් මේ සඳහා දායක කරගැනීමට නියමිතය. ඉතිරි ඩොලර් මිලියන 318 ලබා දීමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පසුගිය වසරේ දී මෙරට සංචාරයක නිරත වෙමින් පොරොන්දු විය.

    ඉන්දියානු සමාගමක් වන IRCON ඉන්ටර්නැෂනල් ලිමිටඩ් මෙරට දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති කිහිපයකටම සිය දායකත්වය ලබා දී තිබෙන අතර ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික කටයුතු ආරම්භ කර වසර 7 ක් පිරීම නිමිත්තෙන් ඊයේ දින මෙම මාධ්‍ය හමුව සංවිධානය කර තිබුණි.

    2009 වසරේ දී කලුතර-ගාල්ල-මාතර මුහුදුබඩ දුම්රිය මාර්ගය ඉදිකරමින් මෙරට දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණ සඳහා එක් වූ IRCON ඉන්ටර්නැෂනල් ලිමිටඩ්, ඉන්දියානු ණය ආධාර මත ක්‍රියාත්මක වූ කිලෝමීටර 265 කින් යුතු උතුරු දුම්රිය මාර්ගය පිළිසකර කිරීම සඳහා ද දායකත්වය දෙනු ලැබීය.