November, 26, 2015
අයවැය යෝජනා අනුව මෝටර් රථ වාහන සඳහා දුම් සහතික පත්‍ර ලබා ගැනීම වෙනුවෙන් අයකරන ගාස්තුව රුපියල් 5000 ක් දක්වා වැඩි කළා යැයි කීම සාවද්‍ය ප්‍රකාශයක් බවත්, එලෙස වැඩිකර තිබෙන මුදල ගෙවිය යුත්තේ අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට බවත් ලාෆ්ස් සමූහ ව්‍යාපාරයේ සභාපති ඩබ්ලිව්. කේ. එච්. වෑගපිටිය මහතා අද දෙරණ Biz වෙත පැවසීය. එහිදී වැඩිදුරටත් ඒ මහතා කියා සිටියේ එලෙස වැඩි කළ ගාස්තුව තමන්ට ලැබෙන ආදායමක් නොවන බවයි.
මේ අනුව දැනට පවතින පැරණි මිල ගණන්වලටම දුම් පරීක්ෂණ සහතිකය ලබා ගත හැකි බව ලාෆ්ස් සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය මහතා අප සමඟ පැවසීය.
එසේම අයවැය යෝජනා මගින් වාහන දුම්පරීක්ෂා සහතික නිකුත් කිරීම සඳහා වැඩි පාර්ශවකරුවන්ට තරඟකාරී ලෙස ඉදිරිපත් විය හැකි පරිද්දෙන් කර්මාන්තය විවෘත කරන බවට මුදල් අමත්‍යවරයා කළ යෝජනාව සම්බන්ධයෙන් ලාෆ්ස් සභාපතිවරයා “දැනට ලංකාවේ දුම් සහතික නිකුත් කිරීම සඳහා සමාගම් දෙකක් තියෙනවා. සමාගම් 19 ක් අතුරින් තමයි මෙම සමාගම් දෙක තෝරා ගනු ලැබුවේ“, යැයි කියා සිටියේය.
සාමාන්‍යයෙන් ලංකාවේ ව්‍යාපාරයක් සාර්ථකව කරගෙන යන විට තවත් තරඟකරුවන්ට එය විවෘත කරන බවත්, අවසානයේ දී සිදුවන්නේ ඒ සියලු ව්‍යාපාර අසාර්ථක වීම බවත්, ඉඩකඩ තිබෙනවා නම් ඕනෑම අයෙකුට කර්මාන්තයට පිවිසිය හැකි බවත් ලාෆ්ස් සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
Video Story