දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    November, 28, 2024

    දෘෂ්‍ය කලාකාරිනියක සහ හිටපු අලෙවිකරණ වෘත්තිකයෙකු වන වර්ෂා පෙරේරා සිය පළමු ඒක පුද්ගල ප්‍රදර්ශනයේදී ඇයගේ ස්වයං ගවේෂණාත්මක ගමන පදනම් කරගත් කලා එකතුවක් ප්‍රදර්ශනය කරනු ඇත. මෙම ප්‍රදර්ශනය 2024 නොවැම්බර් 30 සහ දෙසැම්බර් 01 දින කොළඹ ලයනල් වෙන්ඩ්ට් හි හැරල්ඩ් පීරිස් ගැලරියේදී පැවැත්වීමට නියමිතය. වර්ෂා ඇගේ එකතුව පැහැදිලි කරන්නේ, මනසෙහි සංකීර්ණතා, ගැඹුරු චිත්තවේගයන් සහ අපව බැඳ තබන ප්‍රබල මානව සම්බන්ධතා තේරුම් ගැනීමේ උත්සාහයක් ලෙසය.

    ශ්‍රී ලංකාවේ කොළඹ ඉපදී හැදී වැඩුණු වර්ෂා කුඩා කල සිටම චිත්‍ර ඇඳීමට පටන් ගත්තාය. විද්‍යාව පිළිබඳ පසුබිමක් සහ කොළඹ විශ්ව විද්‍යාලයෙන් (BSc) උපාධියක්, වරලත් කළමනාකරණ ගණකාධිකරණය සහ ඇමරිකා එක්සත් ජනපදයේ බොස්ටන්හි හාවඩ් විශ්ව විද්‍යාලයෙන් විධායක අධ්‍යාපනය ලබා ඇති ඇය, පසුව අලෙවිකරණ වෘත්තිකයෙකු ලෙස වසර 20 ක වෘත්තීය ජීවිතයක් ගත කළාය. දේශීය සහ කලාපීය නායකත්ව භූමිකාවන් දරමින් ශ්‍රී ලංකාව, මියන්මාරය සහ හොංකොං යන රටවල සේවය කරමින් ආසියාව පුරා පුළුල් පළපුරුද්දක් ඇයට ඇත.

    “මීට වසර දෙකකට පෙර, මගේ කතාවේ ඉතිරි කොටස මට අවශ්‍ය වර්ණවලින් පින්තාරු කිරීමට ජීවිතය මට හිස් කැන්වසයක් ලබා දුන්නා. එබැවින් 2022 දී, මම 'Varna by Varsha' ලෙස වෘත්තීයමය වශයෙන් චිත්‍ර ඇඳීමට තෝරා ගත් අතර, එම ක්‍රියාවලිය අතිශයින් භාවනාමය සහ චිකිත්සක බව මට පෙනී ගියා,” ඇය පැහැදිලි කළාය.

    පැරිසියේ Carrousel du Louvre හි Art Shopping Expo, Abu Dhabi හි Massaine Design සහ Greece හි World of Crete ඇතුළු ප්‍රදර්ශන කිහිපයකට සහභාගී වෙමින් වර්ෂා ජාත්‍යන්තරව සිය නිර්මාණ ප්‍රදර්ශනය කර ඇත.

    පළමු ඒක පුද්ගල ප්‍රදර්ශනය වන “වර්ණ-කාරි”‍ ලලිත කලා, විසිතුරු කලා සහ ප්‍රතිමූර්ති යටතේ කාණ්ඩ තුනකින් කෘති ප්‍රදර්ශනය කෙරේ. ඔවුන් සම්බන්ධ කරන පොදු දෙය නම්, කලාකරුවා ගවේෂණය කිරීමට උත්සාහ කරන හැඟීම් සහ මානව අත්දැකීම් ස්ථරවලට ජීවය ලබා දෙන සංකීර්ණ මන්ඩලා සහ විචිත්‍රවත් වර්ණයන්‍ ය.

    ප්‍රදර්ශනයේ තවත් පළමු සහ සුවිශේෂී අංගයක් වනුයේ Augmented Reality (AR) විශේෂාංගය. එමගින් නරඹන්නන්ට සහ චිත්‍ර ලෝලීන්ට නිවසේ හෝ කාර්යාලයේ තමන් කැමති කාමරයේ සිතුවම් දැක බලා ගැනීමට හැකිය. මෙම උත්සවයේදී දියත් කෙරෙන Immersive Virtual ප්‍රදර්ශනය කලා ලෝලීන්ට තත්‍ය කාලීනව කලාව සමඟ පහසුවෙන් සම්බන්ධ වීමට ඉඩ සලසයි. මීට අමතරව, සිතුවම් 10 ක NFT ද දියත් කෙරේ.

    මෙම ප්‍රදර්ශනය සඳහා Earthfoam, Christell Luxury Wellness, Anchor, Wine World, Black and Decker විසින් රන් අනුග්‍රාහකයන් ලෙසත්, Art Cart රිදී අනුග්‍රාහකයා ලෙසත් සහයෝගය ලබා දෙනු ඇත.