දෙල්කඳ ඉඩම් කාර්යාලය පිම්මක් පනී

    March, 29, 2014

    ඉඩම්වල ඔප්පු පත්ඉරු ලබාදීමට මීට පෙර දින දෙකක පමණ කාලයක් ගත වුවත් ඒවා පැය භාගයක් පමණ වේලාවකින් ලබාදීමට දෙල්කඳ ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයට මේ වනවිට හැකිබව අනාවරණය වේ.

    ශ‍්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA- ඉක්ටා ) ඔප්පු පත්ඉරු ස්කෑන් කර පරිගණකගත කිරීම සඳහා මූල්‍ය සහ තාක්ෂණ සහයෝගය ලබාදීම නිසා මෙම හැකියාව ලැබී ඇත.

    මේ පිළිබඳව රෙජිස්ට්‍රාර් දිලුකා පී විතානච්චි මහත්මිය අදහස් දැක්වූයේ මෙසේයි.

    “දෙල්කඳ ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලය කෝට්ටේ, මහරගම, කැස්බෑව, මොරටුව, රත්මලාන සහ දෙහිවල යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ හයකට අයත් ඉඩම් ලියාපදිංචි කරනවා. දිනකට ඔප්පු පත්ඉරු ලබාගැනීම සඳහා 500 ක් පමණ අපේ කාර්යාලයට පැමිණෙනවා.“

    “මීට කලින් එසේ එන අයට ඔප්පුවක පත්ඉරු ලබාගැනීමට දින දෙකක් පමණ ගත වුණා. ඒ සඳහා දෙවරක් අපේ කාර්යාලයට එන්න සිදු වුණා. නමුත් දැන් කාර්යාලයට එන පළමු දවසේම පැය භාගයක පමණ කෙටි කාලයකින් එම කාර්ය කර ගන්න පුළුවන්. අපි ඔප්පු පත්ඉරු ස්කෑන් කරලා පරිගණකගත කළා. ඊට අමතරව කාර්යාලයේ අභ්‍යන්තර කටයුතු පරිගණක ජාලගත කළා.“

    ශ‍්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ඉ -ශ‍්‍රී ලංකා සංකල්පය යටතේ කොළඹ, ගම්පහ සහ දෙල්කඳ ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලවල සියළු කටයුතු පරිගණකගත කිරීමේ ව්‍යාපෘතියක් මේ වනවිටත් ආරම්භ කර ඇත.