දෙසැම්බර් වනවිට කොළඹට ගෙවල් 5000 ක්

    August, 4, 2014

    කොළඹ අඩු පහසුකම් ජනාවාස ආශ්‍රිතව ජීවත්වන ජනතාව වෙනුවෙන් නාගරික සංවර්ධන අධිකාරිය විසින් ගොඩ නගමින් සිටින නිවාස වලින් 5000 ක් පමණ ලබන දෙසැම්බර් මාසය වනවිට එම ජනතාවට බෙදාදිය හැකියැයි නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.

    නාගරික පුනර්ජීවන ව්‍යාපෘතියේ (Urban Regeneration Project) ඒකක ප්‍රධානී, ඊ.ඒ.සී. ප්‍රියශාන්ත මහතා අප සමග සඳහන් කළේ කොළඹ වාණිජ අග නගරය බවට පත්කිරීම අරමුණු කර ගනිමින් කොළඹ අඩු පහසුකම් නිවාසවල වෙසෙන ජනතාව වෙනුවෙන් නිවාස 70,000 ක් පමණ ඉදිකිරීමට නාගරික සංවර්ධන අධිකාරිය සැලසුම් කර තිබෙන බවයි.

    මෙහි පළමු අදියර යටතේ නාගරික සංවර්ධන අධිකාරියේ වියදමින් නිවාස 10,000 ක් තැනීම ආරම්භ කළ අතර මේ වසරේදී දෙවන අදියර යටතේ තවත් නිවාස 20,000 ක් ගොඩ නැගීම ආරම්භ කළේය.

    මෙම නිවාස වලින් කොටසක් ගොඩ නැගීම සඳහා පුද්ගලික සමාගම්ද සහභාගී කරවාගෙන තිබෙන අතර ප්‍රියශාන්ත මහතා අප සමග සඳහන් කළේ මේ වසරේ ගොඩනැගීම ආරම්භ කළ නිවාස වලින් 15,000 ක් ගොඩ නගන්නේ මෙරට සමාගම් බවයි.

    කොළඹ නගරයේ ජීවත්වන ජනතාවගෙන් සියයට 53 ක් වෙසෙන්නේ අඩු පහසුකම් සහිත ජනාවාස වලයි.