දේශීය කිරි නිෂ්පාදනය වැඩිකිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් වැඩසටහන් රැසක්

    March, 10, 2026

    අඹේවෙල පිහිටි මිල්කෝ සමාගමේ විශේෂ නිරීක්ෂණයක් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පසුගිය දා(08) සිදු කළේය.

    අමාත්‍යවරයා මීට අමතරව රජය සතුව තිබූ පුද්ගලික අංශය වෙත ලබාදුන් අ‍ඹේවෙල සමාගම සංවිධානය කර තිබූ කිරි ගවයින් දස දෙනෙකු ගොවියන් වෙත ලබාදීමේ අවස්ථාවට ද සහභාගී විය.

    මෙහිදී අමාත්‍යවරයා මෙලෙස අදහස් පළ කළේය.

    "කිරි නිෂ්පාදනය ඉහළ දැමීම අපේ පශු සම්පත් ක්ෂේත්‍රයේ ජාතික වශයෙන් එක් ප්‍රධාන ඉලක්කයක්. ඒකෙදි අපි ජාතික වශයෙන් 40%ක විතර කිරි නිෂ්පාදනයක තමයි ඉන්නේ. අපිට 60%ක හිඩැසක් තියෙනවා තව සම්පූර්ණ කරන්න. ඒ උවමනාවෙන් තමයි කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය කටයුතු කරන්නේ. රාජ්‍ය අංශයත්, පෞද්ගලික අංශයත් ඒකාබද්ධව මේ ඉලක්කය සම්පූර්ණ කරගන්න ඕනේ. ඒ කටයුත්තේදි අඹේවෙල ආයතනය ජාතික වශයෙන් විශාල කාර්යයභාරයක් මේ වෙනකොට ඉෂ්ට සිද්ද කරලා තියෙනවා. ඒක අපි ගොඩක් අගය කරනවා. රජයේ ගොවිපලක් විදිහට තිබුණු ගොවිපලක් ලබාගෙන දක්ණු ආසියාවේ තියෙන ප්‍රධාන ගොවිපලක තත්ත්වයට පත්කිරීම සම්බන්ධයෙන් ඒ ආයතනයට අපි කෘතඥතාවය පිරිනමනවා. එයින් අපට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා අපේ රාජ්‍ය අංශය පෞද්ගලික අංශය ඒකාබද්ධ වෙලා තවදුරටත් මේ ගමන වේගයෙන් ඉදිරියට යන්න. දැන් අපිට අත්දැකීම් තියෙනවා.

    අපේ කිරි ගොවියෝ තමයි මෙතන ඉන්න වැදගත්ම කණ්ඩායම. කිරි ගොවියන්ට සලකන්න ඕනේ. කෙනෙක් යම් නිෂ්පාදනයක යෙදෙන්නේ ඒ ආර්ථික ලාභයෙන් තමන්ගේ ජීවිතය පවත්වාගෙන යන්න පුළුවන් නම් විතරයි. එහෙම නැත්නම් අත්හරිනවා. අපේ කිරි ගොවියෝ ගත්තම ඒකට අවශ්‍ය කරන සහයෝගය ලබාදීම අත්‍යවශ්‍යයි. පසුගිය අයවැයෙන් මුදල් ඇමති විදිහට අපේ ජනාධිපතිතුමා අපේ ජාතික කිරි නිෂ්පාදනය වෙනුවෙන් රාජ්‍ය අංශය සඳහා විශාල මුදලක් වෙන්කරලා තියෙනවා. ඒ මුදල් සම්බන්ධ කරගෙන අපි මේ වෙනකොට ජාතික වැඩපිලිවෙලක් Dairy Hub නමින් ඉදිරියට අරගෙන යමින් තිබෙනවා. එයින් අපි බලාපොරොත්තු වෙනවා සෑහෙන තල්ලුවක් මේ ක්ෂේත්‍රයට ගන්න. මේක රාජ්‍ය අංශයේ වගකීමක් විතරක් නොවන බව අද මේ කරන වැඩේ තහවුරු කරලා තියෙනවා. අද මේ කිරි ගවයින් ලබන ගොවීන්ට වගකීමක් තියෙනවා මේ සතුන් හොඳින් බලාගන්න.

    දැන් ලෝකයේ ඇතිවෙලා තියෙන තත්ත්වය එක්ක ඒක අපේ රටට බලපාලා තියෙනවා. එවැනි මොහොතක අපේ ජාතික නිෂ්පාදනය ඉහළ නැංවිය යුතුයි.
    රටේ ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් අපි සතියක් ඇර සතියක් රැස්වෙලා කතා කරනවා. අපි මෙවර කතා කළේ මේ ඇතිවෙලා තියෙන යුදමය වාතාවරණය අපේ ආහාර සුරක්ෂිතතාවයට බලපාන්නේ කොහොමද කියලා. එතනදි අපිට පෙනෙන දේ තමයි අපි විසින් ජාතික නිෂ්පාදනය වැඩි කරගන්න එක තමයි වැදගත්ම කාරණය කියන එක."