June, 8, 2016
වර්ධනය වෙමින් තිබෙන දේශීය සහ ගෝලීය ඉල්ලූම සපුරාලීම සඳහා සියැට් සමාගමේ මෙරට පිහිටි රේඩියල් ටයර් නිෂ්පාදන කර්මාන්ත ශාලාව ඉදිරි මාස 12 ක කාලය තුළදී රුපියල් මිලියන 800 ක ආයෝජනයකින් තව දුරටත් පුළුල් කරන බව සියැට් ශ‍්‍රී ලංකා සමාගම නිවේදනය කර ඇත.
මෙරට රේඩියල් ටයර් වෙළඳ පොළින් 30% ක කොටසක් හිමි සියැට් ශ‍්‍රී ලංකා සමාගම මේ වනවිට මෙරට සමස්ත ටයර් අවශ්‍යතාවයෙන් අඩක් පමණ සපයනු ලබයි. මෙම ආයෝජනය මගින් සමාගමේ රේඩියල් ටයර් නිෂ්පාදනය මාසයකට ටයර් 40,000 ක සිට ටයර් 70,000 ක් දක්වා 75% කින් ඉහළ යන බව සමාගම පවසයි.
සියැට් ශ‍්‍රී ලංකා සමාගම විසින් රුපියල් මිලියන 600 ක් ආයෝජනය කරමින් මෝටර් රථ සහ SUV වාහන සඳහා ඉහළ කාර්ය සාධනයකින් යුතු රේඩියල් ටයර් නිෂ්පාදනය කිරීමට කැළණියේ පිහිටි සමාගම් පරිශ‍්‍රයේ ඉදිකළ අති නවීන කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු ආරම්භ කර හරියටම අවුරුදු දෙකක් ගෙවී යද්දී මෙම පුළුල් කිරීම සිදුකිරීමට තීරණය කර තිබේ.
‘‘අපගේ මෙම පුළුල් කිරීම මගින් 2014 වසරේදී ආරම්භ කළ කර්මාන්ත ශාලාවට තවත් අධි තාක්ෂණික යන්ත‍්‍ර එකතු වෙනවා,’’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් සියැට් ශ‍්‍රී ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ විජේ ගාම්භීරේ මහතා පැවසීය. ‘‘නිෂ්පාදනය දෙගුණයකට ආසන්න ප‍්‍රමාණයකින් වැඩිකිරීමට අපි විසින් ගත් මෙම තීන්දුව මගින් ශ‍්‍රී ලංකාව පිළිබඳව අපි තුළ තිබෙන කැපවීමත් දේශීය වෙළඳ පොළේ මෙන්ම ගෝලීය වෙළඳ පොළේ අනිකුත් තරඟකරුවන් සමග තරඟ කිරීමට අපගේ ටයර් නිෂ්පාදන වලට තිබෙන ශක්තිය පිළිබඳව අපගේ විශ්වාසයෙන් තහවුරු වනවා. මෙම ආයෝජනය සමග සියැට් ශ‍්‍රී ලංකා සමාගම විසින් සිදුකළ සම්පූර්ණ ආයෝජනයේ වටිනාකම රුපියල් බිලියන 3.8 ක් දක්වා ඉහළ යනවා.’’
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ප‍්‍රමාණ 13 කින් යුතු රේඩියල් ටයර් නිෂ්පාදනය කිරීමට හැකි අති නවීන අළුත් යන්ත‍්‍ර මෙම කර්මාන්ත ශාලාවේ සවිකරන බවයි. මේ අනුව, දැනටමත් නිෂ්පාදනය කරන වර්ගවල රේඩියල් ටයර් ප‍්‍රමාණය වැඩිවන අතරම අළුත් ප‍්‍රමාණයන්ගේ රේඩියල් ටයර් නිෂ්පාදනයද අරඹන බවත් ඔහු සඳහන් කළේය. මේ වනවිට සමාගම විසින් ප‍්‍රමාණ 33 කින් රේඩියල් ටයර් නිෂ්පාදනය කරන අතර මින් ප‍්‍රමාණ 20 ක් මෝටර් රථ වෙනුවෙන්ද 08 ක් වෑන් රථ වෙනුවෙන්ද 05 ක් SUV වාහන වෙනුවෙන්ද නිෂ්පාදනය කරයි.
‘‘නිෂ්පාදනය වැඩිවීම සහ අලූත් ප‍්‍රමාණයන්ගෙන් යුතු ටයර් හඳුන්වාදීම නිසා මෙරට වැඩියෙන්ම අලෙවි වන රේඩියල් ටයර් සන්නාමයට අයත් නිෂ්පාදන කළඹ තවදුරටත් ශක්තිමත් වෙනවා. මේ තුළින් මෙම අංශයේ මෙරට වෙළඳ පොළ කොටස දෙගුණ කර ගැනීමට සමාගමට අවකාශය තිබෙනවා,’’ යනුවෙන් සියැට් ශ‍්‍රී ලංකා සමාගමේ උප සභාපති - විකුණුම්, අලෙවිකරණ සහ අපනයන රවි ඩඞ්ලානි මහතා පැවසීය.
නව තාක්ෂණයෙන් පිරිපුන් අති නවීන යන්ත‍්‍ර මීට අවුරුදු දෙකකට පෙර ආරම්භ කරන ලද කර්මාන්තශාලාවෙහි හඳුන්වා දුන් බවත් පුළුල් කිරීම යටතේද මෙවැනිම යන්ත‍්‍ර සවිකරන බවත් ඩඞ්ලානි මහතා සඳහන් කළේය. මීට අමතරව, කෑලි දෙකේ අච්චු වෙනුවට මෙම කර්මාන්තශාලාවේ තිබෙන විශේෂිත අච්චු වලින් SUV වාහන සහ ‘ ඕෆ් රෝඞ්’ වාහන සඳහා ඉහළ තත්ත්වයේ රේඩියල් ටයර් නිපදවීමේ හැකියාව තිබේ.
Video Story