ද ෆිනෑන්ස් සමාගමට බිලියන 06 ක මුදල්

    December, 17, 2014

    ශ්‍රී ලංකා මහ බැංකුව හා ද ෆිනෑන්ස් සමාගම අතර පසුගියදා අත්සන් කළ ගිවිසුමට අනුව සමාගමේ මූල්‍ය ස්ථාවරත්වය ඇති කිරීම සඳහා ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාර යෝජනා ක්‍රමය යටතේ රුපියල් බිලියන 06 ක දීර්ඝකාලීන ණය පහසුකමක් ලබාදී තිබේ.

    2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ ප්‍රතිපාදන අනුව 2014 මැයි 26 දින පැවැති රැස්වීමේදී මුදල් මණ්ඩලය විසින් නිකුත් කරන ලද විධාන වලට අනුකූලව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ද ෆිනෑන්ස් කම්පනි පී.එල්.සී ආයතනයේ ලාභදායී තත්ත්වය ඉහළ නැංවීමට සහ ආයතනය තව දුරටත් ස්ථාවර කිරීම සඳහා එම ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීමේ දෙවන අදියර ක්‍රියාත්මක කරගෙන යෑම සිදුවිය.

    ඒ අනුව, දැනටමත් ව්‍යාපාර කටයුතු පුළුල්ව සහ ස්ථාවරව ආයතනය මගින් කරගෙන යෑමේ අරමුණින් නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්කර ඇති අතර නව ව්‍යාපාර ආකෘතියක් ආයතනය විසින් ක්‍රියාවට නංවා ඇත.

    ඒ සමගම ආයතනය විසින් ක්‍රියාත්මක කෙරෙන මෙම නව ව්‍යාපාර ආකෘතියට අනුව ආයතනයේ ද්‍රවශීලතා අවශ්‍යතාවයන් සපුරා ගැනීම සදහා ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාර යෝජනා ක්‍රමය යටතේ දීර්ඝකාලීන ණය පහසුකමක් ලබාදීමට මුදල් මණ්ඩලය විසින් පසුගියදා තීරණය කරන ලදී.

    ඒ සම්බන්ධයෙන් ද්‍රවශිලතා ආධාර ණය පහසුකමට අදාල ගිවිසුම 2014 දෙසැම්බර් මස 15 වන දින ද ෆිනෑන්ස් කම්පැනි පී. එල්. සී. ආයතනයේ සභාපති ආචාර්ය එස්. එච්. ඒ. එම්. අබේරත්න මහතා සහ කළමණාකාර අධ්‍යක්ෂ ඒ. පී. ලේකම්ගේ මහතා, ශ්‍රී ලංකා මහ බැංකුව සමග අත්සන් කරන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස, ආයතනය ස්ථාවර,
    තිරසාර සහ ලාභදායී තත්වයකට පත් කිරීම තුලින් අනාගතයේ උචිත කොටස් නිකුතුවක් හරහා නව හිමිකම් ප්‍රාග්ධනය ආකර්ෂණය කර ගැනීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    ද ෆිනෑන්ස් කම්පැනි පී. එල්. සී. ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය පහත දැක්වෙන පරිදි වේ.

    අචාර්ය එස්. එච්. ඒ. එම්. අබේරත්න මහතා (සභාපති)
    සුජීව රාජපක්ෂ මහතා (උප සභාපති/විධායක නොවන අධ්‍යක්ෂ)
    අරුණ පී. ලේකම්ගේ මහතා (කළමණාකාර අධ්‍යක්ෂ)
    ටී. බී. ඒකනායක මහතා (විධායක අධ්‍යක්ෂ)
    ආර්. ඩී. අබේවික්‍රම මහතා (විධායක අධ්‍යක්ෂ)
    ආචාර්ය රොහාන්ත අතුකෝරාළ මහතා (විධායක නොවන අධ්‍යක්ෂ)
    හිමාලි කුලරත්න මිය (විධායක නොවන අධ්‍යක්ෂ)