ධාරා විජයතිලක වාණිජ මණ්ඩලයේ ප්‍රධාන විධායක ධූරයට

    February, 29, 2016

    ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරීවරිය වශයෙන් ධාරා විජයතිලක මහත්මිය පත් කර තිබේ. වාණිජ මණ්ඩල ඉතිහාසයේ කාන්තාවක් මෙම තනතුර සඳහා පත් වූ පළමු අවස්ථාව මෙයයි.

    දශක 4 කට වැඩි කාලයක් පුරාවට රාජ්‍ය අංශයේ විවිධ තනතුරු හොබවා ඇති ඇය ලංකා වාණිජ මණ්ඩලයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා හෝටල් සංගමයේ ප්‍රධාන විධායක නිලධාරීවරිය වශයෙන් කටයුතු කරන ලදී. මීට අමතරව පුද්ගලික අංශයේ සමාගම් රැසකම විවිධ තනතුරු දරා ඇති ඇය සම්පත් බැංකුවේ අධ්‍යක්ෂවරියක ලෙස ද කටයුතු කර තිබේ.

    ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී මංගල පී.බී. යාපා මහතා ගේ ඉල්ලා අස්වීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩුව පිරවීම සඳහා ධාරා විජයතිලක මහත්මිය මෙසේ පත්කරන ලදී. 2016 මාර්තු 01 වැනි දින සිට මෙම පත්වීම වලංගු වනු ඇත.