නවතම LMD100 ලැයිස්තුවේ ප්‍රමුඛතම බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව නම් කරයි

    January, 11, 2016

    බැංකු අංශයේ සම්මානය සමග සමස්ත වත්කම් අනුව සියළුම ලයිස්තුගත සමාගම්වල ප්‍රථම ස්ථානයත් බදු වලට පසු ලාභය අනුව සමස්ත දෙවන ස්ථානයත් දිනාගනී

    සුප්‍රකට LMD සඟරාව විසින් ලයිස්තුගත ප්‍රමුඛතම සමාගම් 100 තෝරා ගැනීම සඳහා වාර්ෂිකව සිදුකරන වර්ගීකරණයට අනුව වත්කම් අනුව සැලකීමේදී 2014-15 වර්ගීකරණයේ පළමු ස්ථානයට පත්වීමට කොමර්ෂල් බැංකුව සමත්වී තිඛෙන අතර බදු වලට පසු ලාභය සැලකීමේදී දෙවැනි ස්ථානයටත් පිරිවැටුම සැලකීමේදී පස්වන ස්ථානයටත් පත්ව තිබේ. මෙම සම්මාන ප්‍රදානෝත්සවයේදී බැංකු අංශය වෙනුවෙන් හිමිවන සම්මානය දිනාගත්තේද කොමර්ෂල් බැංකුව විසිනි.

    LMD 100 ලැයිස්තුවේ ප්‍රමුඛතම බැංකුව වන කොමර්ෂල් සමස්තයක් ලෙස කොටස්කරුවන්ගේ අරමුදල් අනුව ගත්විට දෙවන ස්ථානයට පත් වී තිබේ.

    2014-15 වසරේදී මෙරට ප්‍රමුඛතම සමූහ ව්‍යාපාරයන්, විදුලි සංදේශ සහ රක්ෂණ සමාගම් මෙන්ම සිල්ලර අංශයේ දැවැන්ත සමාගම් කිහිපයක්ම අභිබවා යෑමට කොමර්ෂල් බැංකුව සමත්ව තිබේ. 2014-15 මූල්‍ය වසරේදී බැංකුවෙහි වත්කම් රුපියල් බිලියන 797.258 ක් වූ අතර ලබාගත් පිරිවැටුම රුපියල් බිලියන 74.538 කි. මීට අමතරව, රුපියල් බිලියන 11.243 ක බදු වලට පසු ලාභයක් වාර්තා කර තිඛෙන අතර කොටස්කරුවන්ගේ අරමුදලේ වටිනාකම රුපියල් බිලියන 71.206 කි.

    LMD 100 ලැයිස්තුවේ මූලික වර්ගීකරණය සඳහා පදනම් වන්නේ පිරිවැටුමයි.

    “සාමාන්‍යයෙන් අනිකුත් බැංකුවල මූල්‍ය ප්‍රතිඵල සමග අපගේ මූල්‍ය කාර්ය සාධනය අපි සසඳා බලනවා. නමුත්, මෙහිදී අපව වඩාත් දිරිමත් කර තිඛෙන්නේ මෙරට ප්‍රමුඛතම ව්‍යාපාරික සමූහ අතර සිටීමට කොමර්ෂල් බැංකුවට හැකිවීමයි“, යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිළධාරී, ජෙගන් දුරෙයිරත්නම් මහතා පැවසීය. “වසර ගණනාවක් පුරා සිල්ලර සහ ආයතනික බැංකු අංශය තුළ බැංකුව පවත්වා ගත් ඉහළ සංවර්ධනය මෙම ජයග්‍රහණයට හේතුවක්ව තිඛෙන අතර ශ්‍රී ලංකාවේ ජාතික ආර්ථීකයේ සහ මෙරට පුරවැසියන්ගේ ජීවිතවල වැදගත්ම කොටස් කරුවෙකු බවට කොමර්ෂල් බැංකුව පත්ව තිඛෙනවා.“

    2015 වසරේදී කොමර්ෂල් බැංකුව මෙරට වඩාත් ගෞරවණීය බැංකුව ලෙස පිට පිටම 11 වන වතාවට LMD සඟරාවේ බුහුමනට පාත්‍රවූ අතර සමස්තයක් ලෙස ගත්විට මෙරට දෙවැනියට වඩාත් ගෞරවණීය පුද්ගලික සමාගම ලෙසින් පිට පිටම පස්වන වතාවට ගෞරවාදරයට ලක්විය. මෙහිදී, වඩාත් කැපී පෙනෙන්නේ මෙම වර්ගීකරණයේ ප්‍රමුඛතම සමාගම් පහ අතර සිටින එකම බැංකුව වන කොමර්ෂල් 'අවංකභාවය' සැලකීමේදී පිට පිටම තුන්වන වතාවටත් පළමු ස්ථානයට පත්වී තිබීමත් ‘මූල්‍ය කාර්යසාධනය‘ අනුව පළමු ස්ථානයට පත්වී තිබීමත්ය. මීට අමතරව, ඇගයීමට ලක් කෙරුණු බොහෝ අංශ වලදී ප්‍රමුඛතම සමාගම් පහ අතර සිටීමට කොමර්ෂල් සමත්විය.

    මෙරට තුළ ශාඛා 246 ක් සහ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර 618 ක් තිඛෙන කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම පස් වතාවක් තේරී පත්වූ එකම ශ්‍රී ලාංකේය බැංකුවයි. 2014 වසරේදී ලංකාවේ වඩාත් වටිනාම පුද්ගලික අංශයේ සන්නාමය ලෙසත් වසර ගණනාවක් පුරා මෙරට හොඳම බැංකුව ලෙසත් තවත් දෙස් විදෙස් සම්මාන රැසකට කොමර්ෂල් බැංකුව පාත්‍රවී ඇත. ලංකා වාණීජ මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවේ හොඳම ආයතනික පුරවැසියන් 10 දෙනා අතරට 2013 දී සහ 2014 වසරේදී බැංකුව තෝරා ගන්නා ලදී.

    කොමර්ෂල් බැංකුවේ විදේශ මෙහෙයුම් කටයුතු සැලකීමේදී බංග්ලාදේශය තුළ ශාඛා 18 ක් පවත්වාගෙන යන අතර මියන්මාරයේ යැන්ගොන්හි, නියෝජිත කාර්යාලයක් පවත්වාගෙන යයි. 2015 සැප්තැම්බර් මාසයේදී මාලදිවයින තුළ පළමුපෙළ බැංකුවක් ආරම්භ කිරීමේ නියාමන අනුමැතිය බැංකුවට හිමිවිය.

    කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිළධාරී, ජෙගන් දුරෙයිරත්නම් මහතා (දකුණේ කෙළවරේම) LMD 100 සම්මාන ප්‍රදානෝත්සවයේදී