නවලෝක හෝල්ඩින්ස් සමාගම සොනාලිකා ට්‍රැක්ටර්ස් සමග එක්ව ශ්‍රී ලංකාවට 4WD-50HP ට්‍රැක්ටර් මාදිලිය හඳුන්වා දෙයි

    May, 3, 2016

    කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ඵලදායීතාව තාක්ෂණික විසඳුම් ඔස්සේ වැඩිදියුණු කිරීම කෙරෙහි විශ්වාසය තබමින්, සහනදායී මිලට විශිෂ්ට මෙවලම් මෙරට ගොවි ජනතාවට හඳුන්වා දෙන නවලෝක ඇග්‍රි සමාගම අශ්වබල 50 කින් යුතු 4WD ට්‍රැක්ටර් මාදිලිය පසුගියදා හඳුන්වා දුන්නේය.

    යාන්ත්‍රික වශයෙන් වඩාත් වැඩිදියුණු කරන ලද, පසේ ස්වභාවය මත භාවිතයට ගත හැකි ආකාරයේ සැහැල්ලු ට්‍රැක්ටරයක අවශ්‍යතාව මෙම නව මාදිලිය තුළින් මනාව සපුරාලයි.

    වැල්ලවායේදී පසුගියදා පැවති 2016 කර්මාන්ත වෙළඳ ප්‍රදර්ශනය සහ සල්පිලේදී මෙම නවතම සොනාලිකා 4WD ට්‍රැක්ටර් මාදිලිය ප්‍රදර්ශනය කෙරුණු අතර, නවලෝක ඇග්‍රි සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකරණය සහ සොනාලිකා අලෙවි කළමනාකරු හා කලාප අලෙවි විධායක නිලධාරීතුමා ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

    වැල්ලවාය නවලෝක ඇග්‍රි ප්‍රදර්ශනාගාරයේදී සොනාලිකා 4WD ට්‍රැක්ටරය දැක බලාගත හැකි අතර පොලොන්නරුව, පරන්තන් සහ වැල්ලවාය ප්‍රදේශවල ප්‍රධාන අලෙවි ප්‍රදර්ශනාගාරවලදී නුදුරේදීම එය ප්‍රදර්ශනය කෙරෙනු ඇත.

    ගොවි ජනතාවගේ අධික ඉල්ලුම හේතුවෙන් කන්තලේ, කුරුනෑගල, ගලෙන්බිඳුණුවැව සහ පොලොන්නරුව ආදී ප්‍රදේශවලදී ද ට්‍රැක්ටර් මිලදී ගැනීමේ පහසුකම සලසා ඇත.

    "මෙරට ගොවි ජනතාව වෙනුවෙන් සොනාලිකා ට්‍රැක්ටර් මාදිලියක් හඳුන්වා දීමට හැකි වීම පිළිබඳ අප ඉතා සතුටු වනවා. අශ්වබල 50 කින් යුතු ප්‍රථම 4WD ට්‍රැක්ටරය ගොවිතැන් කටයුතු සඳහා වඩාත් නම්‍යශීලි සේවාවක් සපයනවා. තාක්ෂණික අංශයෙන් වඩාත් දියුණු ට්‍රැක්ටරයක් ලෙස 4WD ඛාණ්ඩයේ විශිෂ්ටතම ට්‍රැක්ටරය ලෙස මෙය හඳුන්වා දිය හැකියි." නවලෝක හෝල්ඩින්ග්ස් සහ නවලෝක ඇග්‍රි සභාපති ජයන්ත ධර්මදාස මහතා සඳහන් කළේය.

    සොනාලිකා ට්‍රැක්ටර් බර ඉසිලුම් කටයුතු සඳහා ඉදිකිරීම් සමාගම්වලට ද යොදා ගත හැකිය. එවැනි ට්‍රැක්ටර් අශ්වබල 76,90 සහ 120 ලෙස මිලදී ගත හැකිය.

    අශ්වබල 50 4WD ට්‍රැක්ටර් ඉහල ඉන්ධන පිරිමැස්ම, අවම නඩත්තුව සමගින් නවලෝක සමාගමේ අලෙවියෙන් පසු සේවාවන් තුනකින් ද සමන්විතය.