නව නිපැයුම්කරුවෝ ජනපති අතින් සම්මාන ලබති

    October, 27, 2016

    ජාතික නව නිපැයුම්කරුවන්ගේ දින ප‍්‍රථම සැමරුම් උත්සවය සහ දේශීය නව නිපැයුම්කරුවන් සඳහා ජනාධිපති සම්මාන ප‍්‍රදානය කිරීමේ උත්සවය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (26) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්විණි.

    දේශීය නව නිපැයුම්කරුවන් දිරිමත් කිරීමේ අරමුණින් විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ශී‍්‍ර ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම විසින් වාර්ෂිකව මෙම සම්මාන උළෙල සංවිධානය කරනු ලබන අතර නව නිපැයුම්කරුවන් 06 දෙනෙකුට මෙහිදී ජනාධිපතිතුමා අතින් සම්මාන පිරිනැමිනි.

    නව නිපැයුම්කරුවන්ගේ “දසිස් සම්මානයෙන්” පිදුම් ලැබුවේ නාරම්මල මයුරපාද විද්‍යාලයේ ජී.කේ.ඒ.එන්. ගංගොඩවිල ශිෂ්‍යයායි.

    විශිෂ්ට ගණයේ සිවිල් ඉංජිනේරුවරයකු, නව නිපැයුම්කරුවකු සහ නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ ප‍්‍රථම කොමසාරිස්වරයා වූ දේශබන්දු ආචාර්ය ඒ.එන්.එස්. කුලසිංහ මහතාගේ ජන්ම දිනය යෙදෙන ඔක්තෝබර් 26දා ජාතික නව නිපැයුම්කරුවන්ගේ දිනය ලෙස ප‍්‍රකාශයට පත් කර තිබෙන අතර ඒ වෙනුවෙන් සමරු මුද්දරයක් සහ මුල්දින කවරයක් නිකුත් කිරීම ද මෙහිදී සිදු කෙරිණි.

    මේ අතර නව නිපැයුම්කරුවන් වෙනුවෙන් නව නිපැයුම්කරුවන්ගේ කොමිෂන් සභාව විසින් නව හැඳුනුම්පතක් ද නිකුත් කර තිබෙන අතර එය ජනාධිපතිතුමා අතින් සංකේතාත්මකව නව නිපැයුම්කරුවන් වෙත පිළිගැන්විණි.

    විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත, අමාත්‍යාංශයේ ලේකම් ආර්. විජයලක්ෂ්මි, නව නැපැයුම්කරුවන්ගේ කොමිසමේ සභාපති ආචාර්ය ඞී.සී. මහේෂ් එදිරිසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.