නිදහස් වෙළඳ ගිවිසුම් වැඩිකර ගැනීමට රජයේ අවධානය

    June, 2, 2014

    ශ්‍රී ලංකාව සතුව මේ වනවිට තිබෙන්නේ නිදහස් වෙළඳ ගිවිසුම් ඉතාමත් සුළු ප්‍රමාණයක් නිසා ඉදිරියේදී වැඩි වශයෙන් නිදහස් වෙළඳ ගිවිසුම් වලට එළඹීමට අපේක්ෂා කරන බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය කියයි.

    අමාත්‍යංශය සඳහන් කරන්නේ මෙවැනි නිදහස් වෙළඳ ගිවිසුම් වලට එළඹීමෙන් පසුව වියට්නාමයට සෘජු විදේශීය අයෝජන සහ අපනයන වැඩිකර ගැනීමට හැකිවූවා සේ ලංකාවටද සෘජු විදේශීය ආයෝජන සහ අපනයන වැඩිකර ගැනීමට අවස්ථාව ලැබෙනු ඇති බවයි.

    ශ්‍රී ලංකාව මේ වනවිට ඉන්දියාව හා පාකිස්තානය සමග නිදහස් වෙළඳ ගිවිසුම් වලට එළඹ තිබෙන අතර චීනය සමග නිදහස් වෙළඳ ගිවිසුමකට එළඹීමට කටයුතු කරගෙන යයි.

    ඉන්දියානු නිදහස් වෙළඳ ගිවිසුම හේතුවෙන් ලංකාවට වැඩිම ආනයන සිදුකරන රට බවට ඉන්දියාව පත්ව තිබෙන අතර මෙරට ආනයන වලින් ඉන්දියාවෙන් ගෙන්වන ප්‍රමාණය සියයට 18 කි. මීට අමතරව, මෙරට තෙවන විශාලතම අපනයන වෙළඳ පොළ බවට ඉන්දියාව පත්ව තිබෙන්නේ සියයට 05 ක අපනයන මිලදී ගනිමිනි.