නිමල් සිරිපාලගේ සහ ඩිලාන්ගේ ආසන පරාදයි

    September, 22, 2014

    රජයේ ප්‍රබල අමාත්‍යවරුන් දෙදෙනෙකු වන නිමල් සිරිපාල ද සිල්වා සහ ඩිලාන් පෙරේරා යන මහත්වරුන් නියෝජනය කරන ආසන දෙක ඌව පළාත් සභා මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය පරාජයට පත්වීම කැපී පෙනේ.

    මේ අනුව, වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යවරයා නියෝජනය කරන බදුල්ල ආසනය ඡන්ද 6098 කින්ද විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යවරයා නියෝජනය කරන හාලිඇල ආසනය ඡන්ද 2796 කින්ද සන්ධානය පරාජයට පත්ව ඇත.

    මෙම මැතිවරණයේදී වැඩිම මනාප ලාභියා වූ හරීන් ප්‍රනාන්දු මහතා එක්සත් ජාතික පක්ෂයට ලැබුණු ඡන්ද වලින් සියයට 88 කට ආසන්න ප්‍රතිශතයක් ලබාගනිමින් වාර්තාවක් තබා තිබෙන්නේ පක්ෂයේ ඡන්ද ප්‍රතිශතයට සාපේක්ෂව ලැබූ වැඩිම මනාප ඡන්ද ප්‍රමාණය වාර්තා කරමිනි. හරීන් ප්‍රනාන්දු මහතා ලබාගත් මනාප ඡන්ද ප්‍රමාණය 1,73,993 කි.

    මීට පෙර, එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් වයඹ පළාත් සභා මැතිවරණයට තරග වැදුණු දයාසිරි ජයසේකර මහතා පක්ෂයට ලැබුණු ඡන්ද වලින් සියයට 62 කට ආසන්න ප්‍රමාණයක් ලබාගෙන තිබුණි.

    ඌව හිටපු ප්‍රධාන අමාත්‍යවරයා වන ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මෙවර මනාප ඡන්ද 96,619 ක් ලබා තිබේ.

    පෙර තිබූ පළාත් සභා මැතිවරණය සමග සැසඳීමේදී ඌව පළාත් සභා මැතිවරණයේදී සන්ධානයට මන්ත්‍රීධූර 06 ක් අඩුවී ඇති අතර එජාපයට මන්ත්‍රී ධූර 06 ක් සහ ජ.වි.පෙ.ට එක්‌ මන්ත්‍රී ධූරයක්‌ වැඩිවී ඇත.

    ඌව පළාත් සභාවේ සමස්ත ප්‍රතිඵලයට අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 349,906 ක් ලබා ප්‍රසාද මන්ත්‍රී ආසන දෙකද සමගින් මන්ත්‍රී ආසන 19 ක් ලබා තිබෙන අතර එක්සත් ජාතික පක්ෂය ඡන්ද 274,773 ක් සමගින් මන්ත්‍රී ආසන 13 ක් ලබා ගැනීමට සමත් විය. ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද 36,580 ක් ලබා මන්ත්‍රී ආසන දෙකක් හිමිකර ගෙන තිබේ.

    ප්‍රතිශතයක් ලෙස ගත් කළ එක්සත් ජනතා නිදහස් සන්ධානය ප්‍රකාශ කළ ඡන්ද වලින් සියයට 51.2 ක්ද , එක්සත් ජාතික පක්ෂය සියයට 40.2 ක්ද, ජනතා විමුක්ති පෙරමුණ සියයට 5.3 ක්ද ලබා ඇත.