නිව් යෝර්ක් ආයෝජන සමුළුව – ඇමරිකානු විනිමය කොමිසම සමග විශේෂ සාකච්ඡාවක්

    September, 4, 2014

    ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳ පොළ (Capital Market) ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ඇමරිකාවේ නිව් යෝර්ක් නුවරදී අද අරඹන පළමු ආයෝජන සමුළුවට සූදානමක් ලෙසින් කොළඹ කොටස් වෙළඳ පොළේ ප්‍රධානී වජිර කුලතිලක මහතා සහ සුරැකුම්පත් හා විනිමය කොමිසමේ ප්‍රධානී ආචාර්ය නාලක ගොඩහේවා මහතා ඇමරිකානු සුරැකුම්පත් හා විනිමය කොමිසමේ නියෝජිතයින් සමග ඊයේ (03) සාකච්ඡා පවත්වා තිබෙන බවත් එහිදී වර්තමානයේදී මුහුණ දෙන නියාමන අභියෝගයන් (Regulatory Challenges) පිළිබඳව ගැඹුරින් සාකච්ඡා සිදුවුණු බවත් අනාවරණය වේ.

    මෙම සාකච්ඡා සිදුකර තිබෙන්නේ මෙම සමුළුවට අදාළව ඊයේ (03) නිව් යෝර්ක් කොටස් වෙළඳ පොළේ පැවති ආරම්භක උත්සවයට සහභාගී වෙමිනි. මෙහිදී, ශ්‍රී ලංකා සුරැකුම් පත් හා විනිමය කොමිසමේ හා කොළඹ කොටස් වෙළඳ පොළේ නියෝජිතයින් ඇමරිකානු සුරැකුම් පත් හා විනිමය කොමිසමේ නියෝජිතයින්ට සමුළුව පිළිබඳව, ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳ පොළ සංවර්ධනයන් පිළිබඳවද ගැඹුරින් කරුණු පැහැදිලි කිරීමක් කර තිබේ.

    නිව් යෝර්ක් නුවර සිටින අපගේ නියෝජිතයින් හෙළිකරන ආකාරයට මෙම ආයෝජන සමුළුව ආරම්භ වන්නේ ඇමරිකානු වේලාවෙන් අද (04) උදෑසන 9.00 ටයි. සමුළුවට සහභාගී වීම සඳහා ඇමරිකානු අරමුදල් කළමනාකරුවන්ගෙන් (Fund Managers) විශාල ඉල්ලුමක් තිබෙන බවත් මුලින් මේ සඳහා 150 දෙනෙකුට අවස්ථාව ලබාදීමට සැලසුම් කර තිබුණත් මේ වනවිට එම ප්‍රමාණය 220 ක් දක්වා ඉහළ දමා ඇත.

    සමුළුව සඳහා සහභාගී වී සිටින මෙරට ලයිස්තුගත සමාගම් සහ කර්මාන්ත නියෝජනය කරන නියෝජිතයින්ගේ ප්‍රමාණය 50 ක් වන අතර සමුළුව සඳහා සහභාගී වන සමස්ත නියෝජිතයින්ගේ ප්‍රමාණය 270 කි.

    සුරැකුම්පත් හා විනිමය කොමිසමේ ප්‍රධානී ආචාර්ය නාලක ගොඩහේවා මහතා සහ කොටස් වෙළඳ පොළේ ප්‍රධානී වජිර කුලතිලක මහතා වෝල් ස්ට්‍රීට් ජර්නල් ඇතුළු මාධ්‍ය ආයතන කිහිපයක් සමගම සම්මුඛ සාකච්ඡා වලට සහභාගී වී තිබෙන අතර බ්ලූම්බර්ග් මාධ්‍ය ජාලය විසින් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාවද සම්බන්ධ කරගනිමින් සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීමට සැලසුම් කර ඇතැයි වැඩිදුරටත් අනාවරණය වේ.