June, 4, 2024
නෙදර්ලන්තයේ Janson Bridging සමාගමේ 10 වන සංවත්සරය සහ ශ්‍රී ලංකාවේ පාලම් 750ක් සාර්ථකව ඉදිකිරීම සැමරීම වෙනුවෙන් උත්සවයක් ඊයේ (03) කොළඹ දී පැවැත්විණි. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනිය බොනී හෝබාක් මහත්මියගේ ප්‍රධානත්වයෙනි.
ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් ජාතික මට්ටමේ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රතිලාභ උපරිම අයුරින් ලබාදීම සඳහා මාර්ග සම්බන්ධතාව වැඩිදියුණු කරමින් දිවයින පුරා නව පාලම් 250ක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පැවසීය. එසේම නෙදර්ලන්ත ජැන්සන් බ්‍රිජිං සමාගම විසින් 2014 – 2024 කාලය තුළදී ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල ඉදිකරන ලද පාලම් 750 මඟින් එකිනෙකට සම්බන්ධ වන ප්‍රදේශවල ජනතාවගේ ජීවන තත්වය වැඩිදියුණු කිරීම සඳහා රජය කැපවී සිටින බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා රටේ ආර්ථිකය දියුණු වන විට, ඉතාම දිළිඳු මට්ටමේ ජනතාවට ද එමඟින් ප්‍රතිලාභ හිමිවීම සහතික කළ යුතු බව ද අවධාරණය කළේය.
ග්‍රාමීය ප්‍රදේශවල සිටින ජනතාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් බහුමාන දරිද්‍රතාවය 10% දක්වා අඩු කර ගැනීම රජයේ ආපේක්ෂාව බවත්, එම ඉලක්කය කරා ළගා වීමේ දී ග්‍රාමීය ප්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනය කෙරෙන මෙවැනි ව්‍යාපෘති ඉතා වැදගත් බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් දායකත්වය ලබාදීම පිළිබඳ නෙදර්ලන්ත රජයට සිය ස්තූතිය ද පුද කර සිටියේය.
ජැන්සන් බ්‍රිජිං සමාගමෙහි 10 වන සංවත්සරය සහ එම සමාගම විසින් ශ්‍රී ලංකාවේ පාලම් 750ක ඉදිකිරීම් සාර්ථකව නිම කිරීමේ අවස්ථාව සනිටුහන් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනි බොනී හෝබාක් ( Bonnie Horbach) මහත්මිය වෙත විශේෂ සමරු තිළිණ පිළිගැන්වීම ද සිදු කෙරිණි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය,
ජැන්සන් බ්‍රිජිං සමාගම විසින් මෙරට ඉදිකරන ලද පාලම් ප්‍රමාණය 750ක් සම්පූර්ණ වීමේ අවස්ථාව සැමරීමට අද අප එක්ව සිටිනවා. මෙය එම සමාගම විසින් සාර්ථකව ඉටුකළ දැවැන්ත කාර්යයක් බව කිවයුතුයි. මෙම ග්‍රාමීය පාලම් ඉදිකරන ලද ප්‍රදේශ පිළිබඳ මා දන්නවා. ඒවා ඉදිකර ඇත්තේ ඉතා දුෂ්කර ස්ථානවලයි. මෙම පාලම් මඟින් එකිනෙකට සම්බන්ධ කරන ප්‍රදේශවල ජනතාවගේ ජීවන තත්වයන් වැඩිදියුණු කිරීම වෙනුවෙන් රජය කැපවී සිටිනවා. ඒ වගේම මෙම පුළුල් මාර්ග ජාලය මගින් අපට ප්‍රධාන අධිවේගී මාර්ග දක්වා භාණ්ඩ ප්‍රවාහනය කිරීමට සහ ඒවා කොළඹට හෝ වෙනත් ප්‍රධාන නගරවලට යැවීමට හැකියාව ලැබෙනවා. ඒ නිසා මෙම ව්‍යාපෘතිය ඉතා වැදගත් ව්‍යාපෘතියක් බව සඳහන් කළ යුතුයි. එසේම අපි තවත් මෙවැනි පාලම් 250ක් ඉදිකිරීමට ද බලාපොරොත්තු වෙනවා.
මෙම අවස්ථාව අමතමින් ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනිය බොනී හෝබාක් මහත්මිය මෙසේ අදහස් දැක්වූවාය.
ජැන්සන් බ්‍රිජිං සමාගමෙහි 10 වන සංවත්සරය සහ පසුගිය වසර 10 තුළ ඔවුන් ශ්‍රී ලංකාවේ පාලම් 750ක් සාර්ථකව ඉදිකිරීම සැමරීම වෙනුවෙන් ජනාධිපතිතුමා සමඟ අද මෙම අවස්ථාවට සහභාගිවීමට ලැබීම මම ගෞරවයක් ලෙස සලකනවා. ජැන්සන් බ්‍රිජිං සමාගම පසුගිය වසර 10 තුළදී ශ්‍රී ලංකාව පුරා පාලම් ඉදිකිරීම සඳහා කටයුතු කර තිබෙනවා. ඒවා බොහෝවිට අප දන්නා අලංකාර පාලම් නොවෙයි. නමුත් ඒවා ජන ජීවිතය ජාතික සංවර්ධන ව්‍යාපෘති සමඟ සම්බන්ධ කරන සහ ග්‍රාමීය ජනතාවට සෘජු ප්‍රතිලාභ සලසන ව්‍යාපෘති බව කිව යුතුයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, නෙදර්ලන්ත නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානි ඉවන් රූජන්ස් (Iwan Rutjens), ඇක්සස් සමූහ ව්‍යාපාරයේ සභාපති සුමල් පෙරේරා, ෆෝසයිට් ඉංජිනියරින් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ තියෝ ප්‍රනාන්දු, ජැන්සන් බ්‍රිජිං ඉන්ටර්නැෂනල් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ඩර්ක් ෆ්‍රැන්සෙන් (Dirk Fransen) යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
Video Story