නේචර්ස් බියුටි ක්‍රියේෂන්ස් ආයතනය ශ්‍රී ලංකා සෞඛ්‍ය හා ඵලදායිතා සම්මාන උළෙලේ දී රන් සම්මානයෙන් පිදුම් ලබයි

    February, 28, 2019

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ශාකසාර රූපලාවන්‍ය නිෂ්පාදන සමාගමක් මෙන්ම නේචර්ස් සීක්‍රට්ස්, පැන්ඩා බේබි, චන්ඩි පැන්ඩා සහ මිසුමි ආදී වූ වෙළෙඳ සන්නාමයන් යටතේ දේශීය හා විදේශීය වෙළෙඳ පොළ තුළ අභිමානවත්ව බැබළෙන නේචර්ස් බියුටි ක්‍රියේෂන්ස් සමාගම පසුගියදා පැවති ශ්‍රී ලංකා සෞඛ්‍ය සහ ඵලදායිතා සම්මාන උළෙලේ දී රන් සම්මානයෙන් පිදුම් ලැබීය.

    ජපන් විදේශ වෙළෙඳ සංවිධානයත්, (JETRO) තරුණ ලාංකේය ව්‍යවසායකයින්ගේ වාණිජ මණ්ඩලයත් (COYLE) එක්ව පවත්වනු ලබන ශ්‍රී ලංකා සෞඛ්‍ය සහ ඵලදායිතා සම්මාන ප්‍රදානෝත්සවය මගින් වඩාත් කැපවූ ප්‍රතිපත්ති සහිත ක්‍රියාකාරකම් ඔස්සේ තම සේවකයින්ගේ ශාරීරික සහ මානසික සෞඛ්‍යයත්, ඔවුන්ගේ යහපැවැත්මත් උදෙසා කැපවී ක්‍රියාකරන ශ්‍රී ලාංකික සමාගම් ඇගයීමට ලක්කිරීම සිදුකරනු ලබයි.

    රන් සම්මානයෙන් පිදුම් ලැබූ නේචර්ස් බියුටි ක්‍රියේෂන්ස් සමාගමේ සභාපති සහ කළමණාකාර අධ්‍යක්ෂක සමන්ත කුමාරසිංහ මහතා පැවසූවේ,
    "2008 වසරේ ආරම්භ කරන ලද නේචර්ස් බියුටි ක්‍රියේෂන්ස් සමාගමේ එදා සිට අද වෙනතෙක් සේවය කරන අපගේ සේවක මහත්ම මහත්මීන්ට විවිධාකාර ශාරීරික, මානසික සහ ආර්ථික සංවර්ධනය ඇති කිරීමේ වැඩසටහන් අපි ක්‍රියාත්මක කරනවා. ඒවගේම නොමිලේ ආහාර, සෞඛ්‍ය පහසුකම්, ආතතිය දුරලන වැඩසටහන් සහ භාවනා, වෛද්‍ය පරීක්ෂාවන් සමඟ වෙනත් විවිධ ක්‍රියාකාරකම් ඔස්සේ ඔවුන්ගේ සෞඛ්‍ය සහ යහපැවැත්ම ඇති කිරීමත් සිදුකරනවා. ශ්‍රී ලංකා සෞඛ්‍ය සහ ඵලදායිතා සම්මාන උළෙලේ දී අපි තරඟ කළ කාණ්ඩයේ ඉහළම සම්මානය හිමිකරගැනීමට ලැබීම අපිට විශාල ගෞරවයක් වගේම සතුටක්. අපි නොකඩවා කරගෙන ආ සෞඛ්‍ය සහ සුභසාධන වැඩපිළිවෙල තව තවත් වැඩිදියුණු කරගන්නවා වගේම ස්වාභාවිකව, ආරක්ෂිතව සහ සදාචාරාත්මක ලෙස සෞඛ්‍යාරක්ෂාව සහතික කරන ලද රූපලාවන්‍ය නිෂ්පාදන වෙළෙඳ පොළට සපයමින් අඛණ්ඩව අපේ ගමන ඉදිරියට යෑමට අපි බලාපොරොත්තු වෙනවා. "

    නේචර්ස් බියුටි ක්‍රියේෂන්ස් සමාගම ශ්‍රී ලංකාවේ විශාලතම, එමෙන්ම යුරෝපයේ පිළිගත් යහපත් නිෂ්පාදන පරිචයන්ට අනුකූලව (GMP) උසස් ප්‍රමිතියෙන් යුතුව වඩාත් සනීපාරක්ෂක ශාකසාර රූපලාවන්‍ය නිෂ්පාදන, නිෂ්පාදනය කරනු ලබන සමාගමක් වන අතර ISO 9001: 2015 තත්ත්ව කළමනාකරණ පද්ධති සහතිකය සහ ISO 14001: 2015 පාරිසරික කළමනාකරණ පද්ධති සහතිකය ද දිනා ඇත. පරිසර සංරක්ෂණය සඳහා වූ දැඩි කැපවීම උදෙසාම ශ්‍රී ලංකාවේ පිරිනමනු ලබන ඉහළම ජාතික පාරිසරික සම්මානය වන ජාතික හරිත රන් සම්මානයෙන් පිදුම්ලද මෙරට එකම රූපලාවන්‍ය නිෂ්පාදක සමාගම වන්නේ ද නේචර්ස් බියුටි ක්‍රියේෂන්ස් සමාගමයි. ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයකට අයත් විශාලතම, ඖෂධීය ශාක වර්ග 800කට වඩා වැඩි ප්‍රමාණයකින් යුත් ශාක වගාවකට හිමිකම් කියන නේචර්ස් බියුටි ක්‍රියේෂන්ස් සමාගම එමගින් දිවයිනේ ජෛව විවිධත්වය සුරක්ෂිත කරගැනීම සඳහා ද සිය දායකත්වය සපයනු ලබයි.

    ඡායාරූපය : නේචර්ස් බියුටි ක්‍රියේෂන්ස් සමාගමේ සභාපති සහ කළමණාකාර අධ්‍යක්ෂක සමන්ත කුමාරසිංහ මහතා, විධායක ලේකම් නිලූෂි සේනානායක මහත්මිය සහ මානව සම්පත් කළමනාකාර මධුරි සූරියආරච්චි මහත්මිය රන් සම්මානය ලබාගත් අවස්ථාව