නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුවේ 20 වන සංවත්සරය වෙනුවෙන් දුම්රිය රැසක් අලුත් වෙයි

    December, 17, 2019

    නව්‍යකරණය ඔස්සේ මෙරට ගනුදෙනුකරුවන්ට අසමසම බැංකුකරණ අත්දැකීමක් සමීප කරවීමට සමත් වූ නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුව සිය 20 වන සංවත්සරය අභිමානයෙන් සමරයි. ඒ වෙනුවෙන් දැනටමත් ප‍්‍රජා සත්කාර ව්‍යපෘති රාශියක් ක‍්‍රියාවට නැංවීමට බැංකුව පියවර ගෙන ඇත. එහි එක් අදියරක් ලෙස දිවයිනේ දුම්රිය ස්ථාන 19 කට, කසළ වෙන් වෙන් වශයෙන් බහාලිය හැකි කසළ බඳුන් කට්ටල ලබාදෙන ලදි. මෙම වැඩසටහන පසුගිය දෙසැම්බර් 05 වන දින පේරාදෙණිය දුම්රිය ස්ථානයෙන් අවසන් විය.

    මෙහි විශේෂත්වය වනුයේ පේරාදෙණිය දුම්රිය ස්ථානය පිළිසකර කර එය වඩාත් අලංකාර කිරීමටද නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුව කටයුතු කිරීම ය. මේ යටතේ දුම්රිය ස්ථානය මුළුමනින්ම පිරිසිදු කර, අවශ්‍ය තැන් පිළිසකර කර, එහි තීන්ත ආලේප කරනු ලැබේ. දෙසැම්බර් 05 වනදා පැවති උත්සවයකදී එය දුම්රිය දෙපාර්තමේන්තුව වෙත නැවත භාරදීම සිදු වූ අතර, නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුවේ විධායක උප සභාපති ඉන්ද්‍රජිත් බෝයගොඩ මහතා ඇතුළු නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුවේ ඉහළ නිලධාරීන් සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

    මේ පිළිබඳව අදහස් දක්වමින් නේෂන් ට‍්‍රස්ට් බැංකුවේ ප‍්‍රජා සත්කාර ප‍්‍රධානී තේජා සිල්වා මහතා මෙසේ පැවසී ය. ‘‘අපගේ 20 වන සංවත්සරය අභිමානයෙන් සමරන මේ මොහොතේ සමාජය වෙනුවෙන් තවත් වටිනා මෙහෙවරක් ඉටුකිරීමට අප තීරණය කළා. රට පුරා ප‍්‍රජා සත්කාර වැඩසටහන් පෙළක් දියත් කිරීමට අප කටයුතු කළේ ඒ නිසයි. ගනුදෙනුකරුවන් සමග කටයුතු කිරීමේදී අප සෑම විටම දයාව පෙරදැරිව, ඔවුන්ගේ දෘෂ්ටි කෝණයෙන් කරුණු වටහාගැනීමට සෑම විටම උත්සාහ කරනවා. ජනතාව එදිනෙදා මුහුණදෙන ගැටලූ හොඳින් හඳුනාගැනීමට අපට හැකිවී තිබෙන්නේ මේ නිසයි. දුම්රිය ස්ථාන පිරිසිදු කිරීමේ වැඩසටහන මගින් රටේ දහස් ගණනකගේ එදිනෙදා ජීවිත වලට යහපත් බලපෑමක් ඇතිවන බව අප විශ්වාස කරනවා. අවුරුදු 20 කට පසු අදටත් අප සුපුරුදු ජවයෙන් යුතුව උත්සාහ කරන්නේ සාම්ප‍්‍රදායික සීමාවන් ඉක්මවා යමින් නව්‍යකරණය ඔස්සේ ගනුදෙනුකරුවන්ට නැවුම් බැංකුකරණ අත්දැකීම් පෙළක් තිළිණ කිරීමටයි. එමෙන්ම ආරම්භයේ පටන්ම අප කෙරෙහි තැබූ විශ්වාසය සහ අප වෙත ලබාදුන් සහයෝගය වෙනුවෙන් අපගේ ගනුදෙනුකරුවන්ට ස්තූතිය පළකිරීමටත් මා මෙය අවස්ථාවක් කරගන්නවා.”

    1999 වසරේදී ‘ඕවර්සීස් ට‍්‍රස්ට්’ බැංකුවේ කොළඹ ශාඛාව පවරා ගැනීමත් සමග ආරම්භ වූ නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුව තම ව්‍යාපාරික කටයුතු ආරම්භ කරන විට මෙරට බැංකු ක්ෂේත‍්‍රයේ දැවැන්ත බැංකු කිහිපයක්ම ක‍්‍රියාත්මක වෙමින් පැවතිණි. දැඩි කැපවීමකින් කටයුතු කරමින් සහ ගනුදෙනුකරුවන්ට ඉහළම මට්ටමේ පහසුවක් සලසමින් ඉදිරියට ගිය නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුව මේ වනවිට මෙරට බැංකු හා මූල්‍ය ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයෙකු බවට පත්වී සිටී. වර්තමානයේ මෙරට වඩාත්ම ඉදිරිගාමී බැංකුවක් ලෙස සැලකෙන නේෂන්ස් ට‍්‍රස්ට් බැකුව නිරතුරුව මෙරට ප‍්‍රමුඛතම බැංකු සහ ව්‍යාපාර අතරට නම්කරනු ලබන අතර, දේශීය හා ජාත්‍යන්තර සම්මාන රැසකින්ද පිදුම් ලබා ඇත.

    දුම්රිය ස්ථාන වැඩිදියුණු කිරීමේ වැඩසටහනට අමතරව නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුව සිය 20 වන සංවත්සරයට සමගාමීව, විනාශ වූ වනාන්තර නැවත වගාකිරීම සහ තෝරාගත් පාසල් සඳහා පරිගණක විද්‍යාගාර පහසුකම් ලබා දීම වැනි වැඩසටහන්ද ක‍්‍රියාවට නැංවීමට කටයුතු කළේ ය.