නොගෙවූ වැට් බදු ගැන මෙන්ඩිස්ගෙන් නිවේදනයක්

    October, 24, 2024

    සීමාසහිත ඩබ්ලිව් එම් මෙන්ඩිස් සහ සමාගම විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

    ඒ මෑතකදී සිය සමාගම විසින් වැට් බදු වගකීම් පියවා නොගැනීම හේතුකොටගෙන එහි අධ්‍යක්ෂවරුන් තිදෙනෙකුට අධිකරණයෙන් දඬුවම් නියම වූ බවට පළ වූ වාර්තා ඇතුලු මාධ්‍ය වාර්තා සම්බන්ධයෙනි.

    ප්‍රශ්නගත වැට් බදු වගකීම් 2016 සිට 2019 අතර කාලයට අදාළ වන අතර, එම සම්පූර්ණ වගකීමෙන් රුපියල් බිලියන 1.6 ක් පමණ මුදලක් දඩ සහ පොලී වලින් සහ රුපියල් බිලියන 1.0 ක පමණ මුදලක් සමාගම විසින් තම පාරිභෝගියකන්ගෙන් එකතු නොකලද, ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් කරන ලද තක්සේරු වලින් සමන්විත වන බව එම නිවේදනය මගින් ඔවුන් පෙන්වා දී ඇත.

    ඒ අනුව, සමාගම විසින් තම පාරිභෝගිකයන්ගෙන් වැට් බදු එකතු කළ නමුත්, එම මුදල් ආදායම් බදු දෙපාර්තමේන්තුවට ප්‍රේෂණය නොකළ බවට මහජන මතයක් ගොඩ නැගී තිබුණද, සැලකිය යුතු වැට් බදු ප්‍රමාණයක් තම පාරිභෝගිකයන්ගෙන් අය නොකරගෙන තිබූ බව, සමාගම මෙහිදී දැනුම් දී සිටියි.

    තවද, මෙම හිග බදු මුදල් එකතුවී ඇත්තේ සමාගමේ සාමූහික ගිණුම් මහ බැංකුව විසින් අත්හිටුවා තිබූ කාලයක මෙන්ම සමාගමේ හිටපු සභාපති අර්ජුන් ඇලෝෂියස් මහතා මාස 11 ක පමණ කාලයක් රිමාන්ඩ් බන්ධනාගාර ගතකොට සිටි අභියෝගාත්මක කාලයක බවත් සමාගම පවසයි.

    එපමණක් නොව, 2021 ජුනි සිට 2022 සැප්තැම්බර් කාලය තුළදී සමාගමේ මෙහෙයුම් අත්හිටුවනු ලද බැවින්, ඒ කාලය තුළදී ආදායම් නිපදවීමට සහ වගකීම් පියවන්නට සමාගමට දරුණු බාධා වලට මුහුණ දීමට සිදුවූ බවද සමාගම තව දුරටත් ප්‍රකාශ කොට සිටියි.

    මේ සියලු අභියෝගයන් ඉදිරියේ වුවද, සමාගමෙන් අයවිය යුතු සියලු බදු සහ ව්‍යවස්ථාපිත වගකීම් නීත්‍යානුකූලව විසඳීමට සහ ගෙවීමට සමාගම කැපවී සිටින බව ඔවුන් පවසයි.

    ඒ අතර, මෙතෙක් නොපියවන ලද වැට් බදු සම්බන්ධයෙන් මෑතකදී සමාගමට විරුද්ධව ලබා දෙන ලද අධිකරණ නියෝග වලට ගරු කරමින්, මෙම කාරණය සතුටුදායක නිමවීමකට පත් කිරීම සඳහා අදාළ බලධාරීන් සමඟ සහයෝගයෙන් කටයුතු කරන්නට බලාපොරොත්තු වන බවත් සමාගම ප්‍රකාශ කර සිටියි.