නොවැම්බරයේ සංචාරක පැමිණීම එක්ලක්ෂ පනස්දහස ඉක්මවයි

    November, 28, 2024

    2024 නොවැම්බර් මාසයේ මුල් දින 26 තුළ දී මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 156,174ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

    2023 වසරේ නොවැම්බර් මාසයේ මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව දැක්වුනේ 151,496ක් ලෙසිනි.

    මේ අනුව 2024 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,776,889 ක් ලෙස දක්වා ඉහළ ගොස් තිබේ.

    2024 නොවැම්බර් මාසයේ පළමු දින 26 තුළ දී වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව දැක්වෙනුයේ 34,306ක් ලෙසයි.

    මීට අමතරව රුසියාවෙන් සංචාරකයින් 25,573ක් එක්සත් රාජධානියෙන් සංචාරකයින් 10,268ක් සහ ඕස්ට්‍රේලියාවෙන් සංචාරකයින් 6,446ක් ලෙස වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇත.

    මේ අතර 2024 වසරේ ඔක්තෝම්බර් මාසය දක්වා ගත වූ පළමු මාස 10 තුළ දී ඩොලර් බිලියන 2.5 ක විදේශ විනිමය ප්‍රමාණයක් සංචාරක කර්මාන්තය හරහා ඉපැයීමට හැකිවී තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.