December, 14, 2015
නොවැම්බර් මාසය තුළ දී මෙරටට පැමිණි ඉන්දීය සංචාරකයින් ප්‍රමාණය 29,329 ක් බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය සඳහන් කර සිටී. මෙය පසුගිය වසරේ නොවැම්බර් මාසය හා සැසඳීමේ දී 48.4% ක ඉහළ යාමකි.
මේ අතර 2015 නොවැම්බර් මාසය තුළ මෙරටට පැමිණ ඇති මුළු සංචාරකයින් ගණන 144,174 ක් ලෙසින් වාර්තා වේ. ඒ සමඟම මෙම වසරේ පළමු මාස 11 තුළ දී ශ්‍රී ලංකාව වෙත ලඟා වූ මූළු සංචාරකයින් ප්‍රමාණය 1,592,266 කි. පසුගිය වසරේ මුල් මාස 11 හා සැසඳීමේ දී මෙය 18.1% ක වර්ධනයකි.
ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ දත්තවලට අනුව මෙම වකවානුවේ දී වැඩිම සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණි ඇත්තේ චීනය, ඉන්දියාව, එක්සත් රාජධානිය හා ජර්මනිය යන රටවලිනි.
එසේම වසරේ මුල් මාස 11 තුළ මෙරටට පැමිණි චීන සංචාරකයින් ගණන 31.4% කින් ඉහළ ගොස් 330,119 ක් ලෙසින් දැක්වෙන අතර බ්‍රිතාන්‍ය සංචාරකයින්ගේ ප්‍රමාණය 143,083 ක් ලෙසින් වාර්තා වේ. මෙය පසුගිය වසරේ අදාළ කාලපරිච්ඡේදය හා සැසඳීමේ දී 11.6% ක ඉහළ යාමකි.
ගෙවී ගිය නොවැම්බර් මාසය තුළ දී මෙරට සංචාරය සඳහා පැමිණි මැලේසියානුවන් ගණන 13.2% කින් ඉහළ ගොස් 2,285 ක් ලෙසත්, එක්සත් රාජධානියෙන් පැමිණි සංචාරකයින් ගණන 0.9% කින් ඉහළ ගොස් 10,822 ක් ලෙසත්, මෙරටට පැමිණි ජර්මානුවන් ගණන 11.6% කින් ඉහළ ගොස් 10,103 ක් ලෙසත්, රුසියානුවන් ගණන 1.1% කින් ඉහළ ගොස් 7,360 ක් ලෙසත්, යුක්‍රේන ජාතිකයින් ගණන 8.4% කින් ඉහළ ගොස් 2,876 ක් ලෙසත් වාර්තා වේ.
සමස්තයක් වශයෙන් ගත්කල පසුගිය නොවැම්බරයේ දී මෙරටට පැමිණි එක්සත් රාජධානිය හා ජර්මනිය ප්‍රධාන කරගත් බටහිර යුරෝපියානු සංචාරකයින් ප්‍රමාණය 40,006 දක්වා 11.4% කින් ද, රුසියාව හා යුක්‍රේනය ප්‍රධාන කරගත් නැගෙනහිර සංචාරකයින්ගේ ගණන 17,199 දක්වා 8.5% කින් ද වර්ධනය වී තිබේ.
Video Story