නොවැම්බර් දින 17ක් තුළ සංචාරකයින් ලක්ෂයක් දිවයිනට

    November, 20, 2024

    2024 නොවැම්බර් මස 01 සිට 17 දක්වා කාලපරිච්ඡේදය තුළ විදෙස් සංචාරකයින් 103,315 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව වාර්තා වේ.

    මෙම සංඛ්‍යාවත් සමඟම වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් ප්‍රමාණය 1,724,030 ක් දක්වා ඉහළ ගොස් ඇත.

    නොවැම්බර් මාසයේ වැඩිම සංචාරක පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති අතර එය 23,660ක් ලෙසින් සටහන් වේ.

    මීට අමතරව රුසියාවෙන් 16,602 ක්, ජර්මනියෙන් 7,776ක්, එක්සත් රාජධානියෙන් 6,611 ක් සහ ඕස්ට්‍රේලියාවෙන් 4,052 ක් ලෙසින් මෙම දින 17 තුළ වැඩිවශයෙන් විදෙස් සංචාරකයින් මෙරටට පැමිණ ඇති රටවල් ලෙසින් සටහන්ව ඇත.

    පසුගිය 2023 වසරේ නොවැම්බර් මාසය තුළ මෙරටට පැමිණ තිබූ සංචාරකයින් ප්‍රමාණය 151,496 කි. මෙතෙක් ඉතිහාසයේ වැඩිම සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණි වර්ෂය වූ 2018 වසරේ දී 2,333,796 ක සංචාරකයින් ප්‍රමාණයක් මෙරට පැමිණ තිබූ අතර එම වසරේ නොවැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් ගණන 195,582 කි.