පර්පචුවෙල් ට්‍රෙෂරීස්ට එරෙහිව මහ බැංකුවෙන් ක්‍රියාමාර්ග රැසක්

    February, 8, 2017

    මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා ලැබ තිබෙන ප්‍රාථමික වෙළෙඳ ආයතනය වන පර්පචුවෙල් ට්‍රෙෂරීස් සම්බන්ධයෙන් පියවර රැසක් මේ වන විට ගෙන ඇති බවත්, ඒ සම්බන්ධ විමර්ෂන කටයුතු තවදුරටත් ක්‍රියාත්මක බවත් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවසීය. අද ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවක දී මහ බැංකු අධිපතිවරයා මේ බව අනාවරණය කර සිටියේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මෙසේ පැවසීය.

    “බැඳුම්කර ගනුදෙනු සම්බන්ධ පරීක්ෂණ හා ක්‍රියාමාර්ග විස්තරාත්මකව මට තවම කියන්න බැහැ. නමුත් පාර්ලිමේන්තු විවාදයේ දී පංගුවක් ඒවා එලියට ආවා. පර්පචුවල් ට්‍රෙෂරීස් හි ඇතැම් ක්‍රියාකාරකම් සීමා කිරීමට මුදල් මණ්ඩලය පියවර ගෙන තිබෙනවා. මෙම ක්‍රියාමාර්ගය ගනු ලැබුයේ මහ බැංකුව විසින් සිදුකළ පරීක්ෂණය අනුව පර්පචුවල් ට්‍රෙෂරීස් විසින් ඇතැම් උල්ලංගණය කිරීම් සිදුකළ බවට හඳුනාගෙන තිබෙන නිසා. ඒ වගේම තවත් දේවල් මෙම වාර්තාවෙන් හඳුනාගෙන තිබෙනවා. ඒවා තවදුරටත් විමර්ෂනය කළ යුතුයි.“

    “මේ සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිවරයා ලෙසින් මා පොලිස්පතිවරයා වෙත ඒ බව දැනුම් සිටියා මේ සම්බන්ධයෙන් විමර්ෂනයක් සිදුකරන ලෙස. එම විමර්ෂනය මේ වන විට සිදුවෙමින් පවතිනවා. තවත් අභ්‍යන්තර පරීක්ෂණ දෙකක් පැවැත්වෙනවා.“

    මේ වන විට පර්පචුවල් ට්‍රෙෂරීස් හා සම්බන්ධ පුද්ගලයින්ගේ වත්කම් තහනම් කිරීමක් සිදුව තිබේදැයි මාධ්‍යෙව්දියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහ බැංකු අධිපතිවරයා මෙහිදී කියා සිටියේ ඒ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කිරීමට තමන්ට නොහැකි බවයි.