පර්පචුවෙල් මාස දෙකක දී තවත් බිලියන 5 ක් හොයලා

    October, 14, 2016

    ආන්දෝලනාත්මක මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව හරහා මාස 14 ක් තුළ පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම රුපියල් බිලියන 10 ඉක්ම වූ බදු පසු ශුද්ධ ලාභයක් වාර්තා කර ඇතැයි වාර්තා වේ.

    හිටපු මහ බැංකු අධිපතිවරයාගේ බෑණනුවන්ට අයත් පර්පචුවෙල් ට්‍රෙෂරීස් ලිමිටඩ්, මෙරට ප්‍රාථමික නිකුතු ආයතනයක් වන අතර සමාගම විසින් පසුගිය දා ප්‍රසිද්ධියට පත් කරන ලද වාර්ෂික මූල්‍ය වාර්තා මඟින් කියැවුණේ 2016 මාර්තු 31 න් අවසන් මූල්‍ය වර්ෂය සඳහා වාර්තා කර ඇති බදු ගෙවීමෙන් පසු ශුද්ධ ලාභය රුපියල් මිලියන 5.1 ක් බවයි. මෙය ඊට පෙර වර්ෂයේ වාර්තා කරන ලද රුපියල් මිලියන 960 ක බදු පසු ශුද්ධ ලාභය හා සැසඳීමේ දී 430% ක වර්ධනයකි.

    මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සකස් කරන ලද වාර්තාවක් අනුව 2015 අප්‍රේල් සිට 2016 මැයි මස දක්වා මාස 14 ක කාලයක් තුළ රුපියල් බිලියන 10.1 ක බදු පසු ශුද්ධ ලාභයක් සමාගම විසින් වාර්තා කර ඇති බව අනාවරණය වී තිබේ. මහ බැංකුව මෙම වාර්තාව ප්‍රසිද්ධියට පත් කිරීමට පෙර එම තොරතුරු බාහිරයට අනාවරණය වී තිබෙන අතර මේ සම්බන්ධයෙන් මුදල් මණ්ඩලයේ ලේකම්වරයා විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ අදාළ තොරතුරු ශ්‍රී ලංකා මහ බැංකුවේ නිසි අවසරයකින් තොරව නිකුත් කර ඇති බවත්, පර්පවුවෙල් ට්‍රෙෂරීස් සම්බන්ධයෙන් සිදුකරන විමර්ෂන ක්‍රියාවලිය සම්පූර්ණ කර එහි අවසන් වාර්තාව මුදල් මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර නොමැති බවත්ය.