පර්යන්තයට වඩා දිගින් වැඩි නෞකා දෙකකට ජය බහලු පර්යන්තයෙන් සුවිශේෂී මෙහෙයුමක්

    June, 13, 2016

    කොළඹ වරායේ ජය බහලු පර්යන්තයේ කළමනාකාරීත්වය සහ සේවකයින් එක්ව විශේෂ මෙහෙයුමක් සිදු කර තිබේ. ඒ පර්යන්තයට වඩා දිග විශාල නෞකා දෙකකට එකවර සේවා සපයමිනි. ජය බහලු පර්යන්තයේ දිග මීටර 660කි. නමුත් පසුගියදා ජය බහලු පර්යන්තය වෙත නෞකා දෙකක් එකවර සේන්දු විය. එහි සමස්ත දිග ප්‍රමාණය මීටර් 685කි. එවැනි තත්ත්වයකදී නාවික කොට්ඨාසයේ ද සහය ඇතිව මෙම නෞකා දෙකටම ඉහළ සේවයක් ලබාදීමට ජය බහලු පර්යන්තය සමත් වූ බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අධ්‍යක්ෂ මෙහෙයුම් ජයන්ත පෙරේරා මහතා පැවසීය. මෙය වරාය ඉතිහාසයේ සුවිශේෂී අවස්ථාවක් ලෙස සනිටුහන් වේ.

    “MSC සමාගමට අයිති MSC ලුසියානා නැව කොළඹ ජයබහලු පර්යන්තයේ මෙහෙයුම් කළා. එදිනම නිංග්බෝ එක්ස්ප්‍රස් නෞකාවත් ආවා. මෙම නැව් දෙකේම දිග එකතු වුණාම මීටර් 685 ක්. නමුත් ජයබහලු පර්යන්තය සතුව තිබෙන නැංගුරම් පොලේ මුළු දිග මීටර් 660යි. අපි මේ නෞකා දෙකම නාවික කොට්ඨාසයේ සහය ඇතිව නැංගුරම් ගත කරමින් විශේෂ සේවාවක් ලබාදුන්නා. ඉඩ පහසුකම් ප්‍රමාණවත් නොවුණත් කෙසේ හෝ නැංගුරම් ගත කරලා මෙහෙයුම් කටයුතු නිසි වෙලාවට සිදු කරමින් නෞකා නියෝජිතයින් සතුටට පත් කිරීමට අපිට හැකිවුණා...” යනුවෙන්ද ඒ මහතා එහිදී පැවසීය.

    ජය බහලු පර්යන්තය වෙත සේන්දු වූ මෙම නෞකා එම් එස් සී ලුසියානා(MSC Luciana) සහ නින්ග්බෝ එක්ස්ප්‍රස් (Ningbo Express) යන නම් වලින් හැඳින්වේ. මෙම නෞකා පසුගියදා ජය බහලු පර්යන්තයේ JCT 3 - 4 හි නැංගුරම් ගත කෙරුණි. JCT පර්යන්තයේ ගැඹුරුම අංගන වශයෙන් JCT 3-4 සැලකේ. දිග මීටර 364ක් වන MSC Luciana නෞකාව මගින් මෙහෙයවූ සමස්ත බහලු ප්‍රමාණය 11,660කි. මෙම බහලු ප්‍රමාණයෙන් 2,867ක මෙහෙයුම් ජය බහලු පර්යන්තයේදී සිදු කර ඇත. මේ අතරින් Ningbo Express නෞකාව මීටර 321ක දිගින් යුක්ත වේ. එහි සමස්ත බහලු ප්‍රමාණය 7,506 ක් වන අතර එයින් බහලු 2,150 ක් ජය බහලු පර්යන්තයේදී මෙහෙයුම් සිදු කර ඇත.

    එම් එස් සී ලුසියානා නෞකාව හිමාලයා එක්ස්ප්‍රස් නැව් සමාගමට අයත් වන්නකි. එහි ශ්‍රී ලංකා නියෝජිතයා වන්නේ MSC(MEDITERRANEAN SHIPPING COMPANY) ආයතනයයි. හැපග් ලොයිඩ් සමාගමට( Hapag Lloyd) අයත් වන නින්ග්බෝ එක්ස්ප්‍රස් නෞකාවේ ශ්‍රී ලංකා නියෝජිතයා වශයෙන් හැපග්ලොයිඩ් සමාගම කටයුතු කරයි.

    සෞදි අරාබියේ King Abdullah වරායේ සිට කොළඹ වරාය වෙත සේන්දු වූ මෙම MSC Luciana නෞකාව ඉන්පසු ඉන්දියාවේ නවශිවා වරාය වෙත ප්‍රවේශ වනු ඇත. ඉන්පසු Ningbo Express නෞකාව සූවස් හරහා යූ.එස්.ඊස්ට් කොස්ට් වරාය වෙත ළඟා වීමට නියමිතය.

    Video Story

    Stock Market

    Exchange Rates