පරිසර ආරක්ෂණ වැඩසටහනක් සඳහා ෆෝර්ඩ් හා වර්ල්ඩ් විෂන් අත්වැල් බැඳගනියි

    November, 2, 2016

    මඩකලපුව වාහරේ කට්ටුමුරිව්කුලම් ගම්මානයේ ජල හා සනීපාරක්ෂක ව්‍යාපෘතියක් සඳහා ෆෝර්ඩ් මෝටර් සමාගම වෙනුවෙන් සොෆ්ට්ලොජික් හෝල්ඩින්ග්ස් හි අනුබද්ධිත ෆියුචර් ඔටෝමොබයිල්ස් පුද්ගලික සමාගම සහ වර්ල්ඩ් විෂන් ලංකා ලිමිටඩ් අත්වැල් බැඳ ගනියි.

    රුපියල් මිලියන 3ක ප්‍රතිපාදන මේ යටතේ වර්ල්ඩ් විෂන් ලංකා වෙත සැපයෙන අතර එම මුදලින් මඩකලපුව වාහරේ කට්ටුමුරිව්කුලම් ගම්මානයේ පවුල් 220 කට බීමට සුදුසු ජලය සැපයීමට නියමිතය. මෙම පවුල්වල සාමාජිකයින් අතර වැඩිහිටියන් 786 ක් සහ ළමයින් 394 ක් වෙති. ජල ප්‍රශ්නය මෙම ගම්මානයේ පවතින ප්‍රමුඛතම ගැටළුව වන අතර ජලය සපයා ගැනීම සඳහා මෙම ගම්මානයේ ඇත්තේ ළිං පහක් සහ නළ ලිං දෙකක් පමණි.

    මෙම තත්වය වටහා ගනිමින් ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ උපදේශකත්වයෙන් ක්‍රියාත්මක කෙරන මෙම ඒකාබද්ධ ජල ව්‍යාපෘතිය මඟින් වියළි කාලවලදී පවා හිඟයකින් තොරව ජලය සැපයීමට හැකියාව ඇත. මේ නිසා තවදුරටත් මෙම ගම්වාසීන්ට ජලය සොයා දුරබැහැර ප්‍රදේශ වෙත ගමන් කිරීමට සිදු නොවේ. මෙම ඒකාබද්ධ ජල ව්‍යාපෘතිය යටතේ ගම්මානයේ පාසැලට ද ජල හා සනීපාරක්ෂක පහසුකම් සැපයෙන අතර පාසැල් සිසුන් සඳහා අත් සේදුම් ඒකකයක් ද සහිතව මෙම සනීපාරක්ෂක පහසුකම් වර්ධනය කිරීම සිදුවේ.

    මෙම ව්‍යාපෘතියට දායක වීම පිළිබඳව අදහස් දක්වන ෆෝර්ඩ් මෝටර් සමාගමේ ආසියා පැසිෆික් වර්ධනය වන වෙළඳ පළෙහි කළමණාකාර අධ්‍යක්ෂ ඩේවිඩ් වෙස්ටර්මන් මහතා සඳහන් කළේ වර්ල්ඩ් විෂන් ලංකා ආයතනය විසින් ෆෝර්ඩ් හි සංරක්ෂණ හා පරිසර ප්‍රදානයන් වෙත කළ ඉදිරිපත්කිරීමකට අනුව මෙම මුදල් වෙන් කිරීමට තීරණය කළ බවයි. දේශීය ප්‍රජාවගේ ජල පහසුකම් නැංවීම සහ සනීපාරක්ෂක පහසුකම් වර්ධනය කිරීමට මෙමඟින් අපේක්ෂා කරන බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

    මෙම ජල ව්‍යාපෘතිය ප්‍රජා සහභාගීත්ව ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක අතර ව්‍යාපෘතිය නිම කිරීමෙන් පසුව එහි අයිතිය ප්‍රජා මූල සංවිධාන වෙත පැවරේ. ඉන් ඉදිරියට සාර්ථකව ව්‍යාපෘතිය පවත්වාගෙන යාමේ වගකීම එම ප්‍රජා මූලසංවිධාන විසින් දරනු ලබයි.

    මේ පිළිබඳව අදහස් දැක්වූ ෆියුචර් ඔටෝමොබයිල්ස් පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි චමත් තෙන්නකෝන් මහතා සඳහන් කළේ සමාජ සේවා සඳහා ධනාත්මක ආකාරයෙන් දායක වීමට ෆෝර්ඩ් සමාගම දැඩි කැමැත්තක් දක්වන බවයි.එම සමාගමේ ශ්‍රී ලාංකේය බලයලත් නියොජිතයින් වශයෙන් ෆියුචර් ඔටෝමොබයිල්ස් පුද්ගලික සමාගම මෙවැනි කර්තව්‍යයකට දායක වීමට අවස්ථාව හිමිවීම පිළිබඳව සතුටට පත්වන බව සඳහන් කළේය. වාහරේ ප්‍රදේශයේ ජනතාව වෙත මෙම ව්‍යාපෘතිය මඟින් පුළුල් සේවාවක් සැපයීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බවත් මෙම ව්‍යාපෘතිය මඟින් එම ජනතාවගේ ජීවන තත්වය නඟාසිටුවීමට හැකිවනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් හෙතෙම පැවසීය.

    ෆෝර්ඩ් සමාගම වසින් මෙම ව්‍යාපෘතිය සඳහා ප්‍රතිපාදන වෙන්කිරීම පිළිබඳව අතිශයින් සතුටට පත්වන බව වර්ල්ඩ් විෂන් ලංකා ලිමිටඩ් හි වැඩබලන ජාතික අධ්‍යක්ෂ ජොනතන් ජොන්සන් මහතා කියයි. පානීය ජලය හිඟ වීමෙන් දැඩි අසරණ භාවයට පත්ව සිටින මඩකලපුව කට්ටුමුරිව්කුලම් ගම්මානයේ ජනතාවට සහන සැලසීමට ඉදිරිපත් වීම පිළිබඳව ෆෝර්ඩ් සමාගම වෙත සිය ස්තුතිය පුදකරන බව ද හෙතෙම කීය. වර්ල්ඩ් විෂන් ලංකා සමාගම මේ ආකාරයට ෆෝර්ඩ් වැනි විවිධ සමාගම් රැසක් සමග එක්වෙමින් ප්‍රජා සේවා රැසක් සඳහා කටයතු කරන බවත්, එම සුහදතාව සමඟින් සැබෑ වෙනසක් ප්‍රජාව තුළ සිදුකළ හැකි බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

    ෆෝර්ඩ් සමාගමේ පරිසර ආරක්ෂණ වැඩසටහනේ කොටසක් ලෙස ශ්‍රී ලංකාවට මෙම ප්‍රදානය සිදු කර තිබේ. මේ ආකාරයේ ප්‍රජා ව්‍යාපෘති රැසක් සඳහා ෆෝර්ඩ් පසුගිය වසර කිහිපය තුළ දායක වී තිබේ. මුලතිව් සහ කිලිනොච්චි දිස්ත්‍රික්ක වල යුධමය තත්වයන් හේතුවෙන් හානියට පත් ප්‍රජාව වෙත සහන සැලසීම සඳහා මෑතකදී Japan Emergency NGO (JEN) වෙත ෆෝර්ඩ් ආධාර ලබාදුන් අතර, 2014 දී පක්ෂි විද්‍යාව පිළිබඳ හැදෑරීම් සඳහා ශ්‍රී ලංකා පක්ෂි විද්‍යා කණ්ඩායම ට (FOGSL) ඇමරිකානු ඩොලර් 20,000 ක ප්‍රධානයක් ෆෝඩ් විසින් සිදුකර තිබේ. එමෙන්ම වසර 2013 දී ශ්‍රී ලංකා තුරුලතා සංගමය සහ වන සරණ තුරුලතා ස්වේච්ඡා සංගමය වෙත ඩොලර් 15,000 ක මුදලක් ද ෆෝඩ් විසින් පිරිනමා තිබේ. එමෙන්ම 2012 දී නකල්ස් රක්ෂිත වනාන්තරයේ ගින්නෙන් ආරක්ෂා කර ගැනීම සඳහා වන ව්‍යාපෘතියක් සඳහා ද ෆෝර්ඩ් විසින් ආධාර සපයා දී තිබේ.

    ළමුන් ඉලක්ක කරගත් මානුෂිය ආධාර සපයන සංවිධානයක් වන වර්ල්ඩ් විෂන් ශ්‍රී ලංකාවේ මෙහෙයුම් අරඹන්නේ 1977 දීය. එතැන් පටන් දිවයින පුරා සංවර්ධන සහ සහන ආධාර වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබේ. එම වැඩසටහන් මඟින් දිවයින පුරා ගම්මාන 2500 කට ආසන්න ප්‍රමාණයකට සහ දිස්ත්‍රික්ක 20 ක පරිපාලන කොට්ඨාස 900 කට අධික සංඛ්‍යාවක ළමුන් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් ලක්ෂ 3 කට ආසන්න පිරිසට සහන සලසයි.

    ෆෝර්ඩ් මෝටර්ස් වෙනුවෙන් ෆියුචර් ඔටෝ මොබයිල්ස් පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි චමත් තෙන්නකෝන් විසින් වර්ල්ඩ් විෂන් ලංකා ලිමිටඩ් හි වැඩ බලන ජාතික අධ්‍යක්ෂ ජොනතන් ජොන්සන් වෙත අනුග්‍රාහකත්වය පිරිනනමමින්.