පරීක්ෂණ සාර්ථකයි. උතුරු-නැගෙනහිර රබර් වලින් වැසෙන ලකුණු

    March, 12, 2014

    රබර් වගා කිරීම සඳහා පස, දේශගුණය සහ අනිකුත් සාධක ගැලපෙන උතුරු-නැගෙනහිර ප්‍රදේශ කිහිපයක් යොදා ගනිමින් සිදුකළ පරීක්ෂණය සාර්ථක වූ බවත් අම්පාර දිස්ත්‍රික්කයේ පදියතලාව, මහඔය සහ උහන ප්‍රදේශ වලත් උතුරු පළාතේ මාමඩුව හා මඩුකන්ද ප්‍රදේශ වලත් වාණිජ බෝගයක් ලෙස රබර් වගාකිරීම ඇරඹූ බව රබර් පර්යේෂණ ආයතනයේ ප්‍රධානියා කියයි.

    රබර් පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ, ආචාර්ය ගාමිණී සෙනෙවිරත්න අප සමග සඳහන් කළේ මෙම ව්‍යාපෘතිය යටතේ අම්පාර දිස්ත්‍රික්කයේ පමණක් මේ වනවිට හෙක්ටයාර 500 ක රබර් වගාකර තිබෙන බවයි.

     “උතුරේ මාමඩුව සහ මඩුකන්ද යන ප්‍රදේශවල මේ වනවිට හෙක්ටයාර් 150 ක පමණ රබර් වාණිජ වගාවක් ලෙසින් ආරම්භ කර තිබෙනවා. මෙහිදී වඩාත් වැදගත් වන්නේ මෙම ප්‍රදේශ වලදීත් රබර් ගසෙන් ලබාගත හැකි කිරි ප්‍රමාණය සාම්ප්‍රදායික ප්‍රදේශයක වැවෙන රබර් ගසක මට්ටමේම තිබීමයි.“

    යනුවෙන් සෙනෙවිරත්න මහතා පැවසීය.

    රජයේ අරමුණ වී තිබෙන්නේ උතුරු-නැගෙනහිර රබර් වගාව ඉදිරියේදී හෙක්ටයාර් 3000 ක් දක්වා වර්ධනය කිරීමටයි. මේ අනුව, තවදුරටත් මෙම ප්‍රදේශවල රබර් වගාව ව්‍යාප්ත කිරීමට විශ්වමඩු, පුතුකුඩුඉරිප්පු ප්‍රදේශත් රබර් වගාව සඳහා යෝග්‍යදැයි සොයා බැලීම සඳහා මේ වනවිටත් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

    උතුරු-නැගෙනහිර රබර් වගාකිරීමට යෝග්‍යදැයි විමසා බැලීමේ පරීක්ෂණ කටයුතු ආරම්භ වූයේ 2003 වසරේදීයි. රබර් පරීක්ෂණ ආයතනයේ ප්‍රධානියා අප සමග පැවසුවේ ලෝක වෙළඳ පොළේ රබර් මිල ගණන් සාමාන්‍ය මට්ටමේ පවතින විට මෙම ප්‍රදේශවල රබර් හෙක්ටයාරයකින් රුපියල් 25,000 ක පමණ ලාභයක් ලබාගැනීමේ හැකියාව තිබෙන බවයි.

    ඉදිරියේදී මෙරට මෙන්ම විදේශීය කර්මාන්ත විසින් රබර් සඳහා සිදුකරන ඉල්ලුම වැඩිකරන අතර ස්වභාවික රබර් සඳහා මෙහිදී වැඩි ඉල්ලුමක් ඇතිවනු ඇත.

    1990 වසර වනවිට මෙරට රබර් හෙක්ටයාර් 199,000 ක් පමණ තිබුණත් එය මේ වනවිට හෙක්ටයාර් 130,000 ක පමණ මට්ටමකට පහළ බැස තිබේ.

    මීට පෙර ලෝකයේ විශාලතම රබර් ඉල්ලුම් කරුවා වූයේ ලෝකයේ විශාලතම ආර්ථිකය හිමි ඇමරිකා එක්සත් ජනපදයයි.

    කෙසේවෙතත්, එම තත්ත්වය දැන් වෙනස් වී ඇත. ඇමරිකාව දෙවැනි තැනට ඇද දමමින් මේ වනවිට ලෝකයේ විශාලතම රබර් ඉල්ලුම් කරුවා වී තිබෙන්නේ වේගයෙන් දියුණු වන චීනයයි. එනම් චීනය ලෝකයේ සමස්ත ස්වභාවික රබර් නිෂ්පාදනයෙන් සියයට 35 ක් පමණ මිලදී ගනී.