පළාත් පාලන ආයතන විසින් අය කරනු ලබන විවිධ බදු හා ගාස්තු පිළිබඳව ජාතික මට්ටමේ සමාලෝචනයක්

    October, 11, 2017

    පළාත් පාලන ආයතන විසින් අය කරනු ලබන විවිධ බදු හා ගාස්තු පිළිබඳව ජාතික මට්ටමේ සමාලෝචනයක් සිදු කිරීම සඳහා සිය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් යුතු නිලධාරි කමිටුවක් පත් කිරීම පිණිස පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

    අදාළ කැබිනට් නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

    පළාත් පාලන ආයතන විසින් සිය බල ප්‍රදේශ තුළ පිහිටි ඉඩම් හා ගොඩනැඟිලිවලට අදාළව වරිපනම් බදු අය කිරීමේදී සහ ඇතැම් සේවාවන් සැලසීමේදී අය කරනු ලබන ගාස්තුවල ප්‍රමාණය සම්බන්ධයෙන් පොදු ප්‍රතිපත්තියක් නොමැති වීම නිසා මහජනතාව විවිධ ගැටලුවලට මුහුණපාන බවට පැමිණිලි ඉදිරිපත් වී තිබේ. තක්සේරු ලේඛනයේ නම සංශෝධනය කිරීම, ගොඩනැඟිලි බිම් කට්ටි සංවර්ධන සැලසුම් ඉදිරිපත් කිරීම, අනුකූලතා සහතික නිකුත් කිරීම, දූරකථන කුලුනු සඳහා ගාස්තු අය කිරීම වැනි කරුණු සඳහා යොදාගනු ලබන අයදුම්පත් ගාස්තු, ව්‍යාපාරික ස්ථාන සඳහා අය කරනු ලබන බලපත්‍ර ගාස්තු සහ වරිපනම් බදු ඇතැම් අවස්ථාවන්හිදී සාධාරණ පදනමකින් තොරව තීරණය කරනු ලැබ ඇති බව හඳුනාගනු ලැබ ඇත.