ප්‍රජාවන් සවිබල ගන්වන SDB බැංකුවේ සාඩම්බර 27 වන සංවත්සර සැමරුම

    September, 27, 2024

    SDB බැංකුව සිය 27 වන සංවත්සරය සාඩම්බරයෙන් සමරන ලද්දේ සිය ආයතනයේ වෘත්තිකයන්ගේ සහ රට පුරා විසිරී සිටින විවධ ප්‍රජාවන්ගේ අභිවෘද්ධිය උදාකරලීම වෙනුවෙන් දක්වන කැපවීම යළිත් ප්‍රදර්ශනය කරමිනි. 1997දී SDB බැංකුවේ ආරම්භක අවස්ථාවේ පැවැති ආයතනික වටිනාකම් සහ මෙහෙවර ඒ ආකාරයෙන්ම පවත්වා ගනිමින් සමාජ වගකීම, තිරසාරත්වය සහ සේවක සුබසිද්ධිය වෙනුවෙන් දක්වන අපරිමිත කැපවීම සතියක් පුරා පැවැති සංවත්සර සැමරුම්වලින් පිළිඹිබු විය.

    මූලික වැඩසටහන් තුනකින් සමන්විත වූ 27 වන සැමරුම් උළෙලේ පළමු වැන්න වූයේ වසර 25කට වඩා වැඩි කාලයක් SDB බැංකුවේ අඛණ්ඩව සේවයේ නියුතු වෘත්තිකයන්ට උපහාර පිදීමේ උත්සවයයි. එහිදී ඔවුන් බැංකුවේ උන්නතිය උදෙසා දීර්ඝ කාලයක් පුරා සිදු කරන ලද අමිල මෙහෙවර ඇගයීමට ලක් කරමින් ඔවුන්ට සමරු රන් කාසිය බැගින් තිළිණ කරන ලදි.

    මීට අමතරව ආයතන කළමනාකාරිත්වයේ සහ සුබසාධක සංගමයේ එකමුතුවෙන් කිරුළපන, කුමාර උදයන් දෙමළ පාසලේ ප්‍රතිසංස්කරණය ව්‍යාපෘතියක් සහ මහරගම අපේක්‍ෂා රෝහලේ ලේ දන් දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි. බැංකුවේ සේවකයන් සහ සෙසු ප්‍රජාවන් එකිනෙකාට සමීප කරමින් බැංකුව විසින් ඔවුන්ට ලබා දෙන ප්‍රතිලාභයන් වඩාත් අර්ථවත් කිරීමට මෙමගින් පියවර ගන්නා ලදි. විශේෂයෙන්ම කිරුළපන, කුමාර උදයන් පාසලේ සිදු කළ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය ඔස්සේ එහි සිසුන්ට වඩා සුදුසු ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කිරීමට හැකියාව ලැබුණු අතර අනාගත පරම්පරාවට ගුණාත්මක ඉගෙනුම් සම්පත්වලට ප්‍රවේශ වීමට මං පෑදීමට SDB බැංකුව දක්වන උනන්දුව ඉන් තහවුරු විය.

    සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නගා සිටුවීම මුඛ්‍ය අරමුණ කර ගනිමින් ආරම්භ වූ SDB බැංකුව අද වන විට විවිධාකාර පාරිභෝගික කණ්ඩායම්වලට මූල්‍ය සේවා සපයන ශක්තිමත් මූල්‍ය ආයතනයක් දක්වා වර්ධනය වී ඇත. රට පුරා ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීමට බැංකුවක් වශයෙන් ඉහළ දායකත්වයක් ලබා දෙමින් මෙරට ආර්ථික සංවර්ධනයේ සුවිශාල කාර්යභාරයක් ඉටු කරන SDB බැංකුව කාන්තා ව්‍යවසායකත්වය නගා සිටුවීම කෙරෙහි සුවිශේෂී අවධානයක් යොමු කර ඇත. එසේම පුනර්ජනනීය බලශක්තිය, තිරසාර කෘෂිකර්මාන්තය සහ ඩිජිටල් තාක්‍ෂණය බැංකුකරණය සමඟ බද්ධ කිරීම වෙනුවෙන් පුරෝගාමී මෙහෙවරක් සිදු කරමින් බැංකු ක්‍ෂේත්‍රය තුළ පාරිසරික, සමාජයීය සහ පරිපාලන තිරසාරත්වය වෙනුවෙන් ඉහළම දායකත්වය ලබා දෙන මූල්‍ය ආයතනය බවට ද SDB බැංකුව අද වන විට පත් වී ඇත. ඩිජිටල් බැංකුකරණය ප්‍රචලිත කිරීමට හා වඩාත් පුළුල් පාරිභෝගික පිරිසකට පහසුවෙන් බැංකුකරණයට ප්‍රවේශ වීමට අවස්ථාව සලසා දීමට ගන්නා සුවිශේෂී උත්සහයන් හරහා බැංකුවේ මූල්‍ය සේවාවන් සහ මූල්‍ය තත්ත්වයන් ඉහළ නංවා ගැනීමට ද හැකි වී තිබේ.

    SDB බැංකුව මෙම සුවිශේෂී සංධිස්ථානය පසු කරන විට රට පුරා විසිරුණු ශාඛා 94කින් සමන්විත ජාලය හරහා සිය ගනුදෙනුකරුවනගේ සහ විවිධ ප්‍රජාවන්ගේ ජීවිතවලට අඛණ්ඩ ධනාත්මක බලපෑමක් සිදු කරමින් සිටියි. එසේම මෙම 27 වැනි සංවත්සර සැමරුම බැංකුවේ ගෞරවනීය ඉතිහාසයට නැවුම් බවක් එක් කරන අතර මෙරට සමාජයීය සහ ආර්ථික සංවර්ධනයට SDB බැංකුව විසින් ලබා දෙන නොනිමි දායකත්වය වඩාත් ශක්තිමත්ව ඉදිරියටත් ලබා දීමට මනා උත්තේජනයක් වනු ඇත.

     

    ඡායාරූපය - SDB බැංකුවේ 27 වන සංවත්සර සැමරුමේ විශේෂ අවස්ථා කිහිපයක්