May, 30, 2016
"ජීවිතයට වෙනසක්" ඡායාරූප ප්‍රදර්ශනය සහ වාර්තා චිත්‍රපට දැක්ම මිනිසාගේ අප්‍රතිහත ධෛර්යය පිළිබඳ සාක්ෂ්‍ය සපයයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය, ජාත්‍යන්තර මුල්‍ය සංස්ථාව සහ රජයේ ආයතන සමග එක්ව යුරෝපා සංගමය මෙරට ජනතාවගේ ජීවිත සුබවාදී වෙනසකට ලක් කිරීම සඳහා ගත් උත්සාහය මෙමගින් චිත්රණය කෙරේ.
මෙම ප්‍රදර්ශනයේ සමාරම්භක උළෙල ජුනි මස 8 වනදා පැවැත්වෙන අතර ජුනි 9 සහ 10 දෙදින වෙයාර්හවුස්, පාර්ක් වීදිය, කොළඹ 2 යන ස්ථානයේදී ජනතාව වෙනුවෙන් විවෘතව තැබේ.
යුරෝපා සංගමය (EU) එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN) සහ ජාත්‍යන්තර මුල්‍ය සංස්ථාව (IFC) ආදී සංවිධාන සමග එක්ව උතුරු-නැගෙනහිර පළාත්වල යුද්ධයෙන් පීඩාවට පත් වූ ප්‍රදේශ තුළ ක්‍රියාත්මක කරන ලද සංවර්ධන වැඩසටහන්වල ප්‍රතිඵලයක් ලෙස මෙම ප්‍රදර්ශනය පැවැත්වේ. තවද, දිස්ත්‍රික් රාජ්‍ය ආයතන සහ ප්‍රාදේශීය ප්‍රජාව අතර සහයෝගීතාව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහනේ සහ ප්‍රදර්ශනයේ සාර්ථකත්වය කෙරෙහි බෙහෙවින් බලපෑවේය.
"උතුරු-නැගෙනහිර දෙපළාතේ ජන ජීවිතයට යුරෝපා සංගමය සහය දෙන දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන (EU-SDDP) මගින් ඇතිකරන ලද ධනාත්මක බලපෑම පිළිබඳ පැතිකඩක් මෙම ප්‍රදර්ශනය මගින් නිරූපණය වනවා. එම වැඩසටහන් මගින් අප අත්පත් කර ගත් ප්‍රතිඵල සමහරක් මෙලෙස ඔබ සමග බෙදාහදා ගැනීමට හැකි වීම පිළිබඳ මා ඉතා සතුටු වනවා. තවද, මෙම වැඩසටහන් සාර්ථක කර ගැනීම සඳහා සහයෝගය ලබා දුන් සංවිධාන, රාජ්‍ය ආයතන සහ ප්‍රජාව වෙත මාගේ ස්තුතිය පිරිනමනවා." යුරෝපා සංගමයේ සහයෝගී ප්‍රධානී ලිබූසේ සුකුපෝවා මහත්මිය සඳහන් කළාය.
ජීවන අත්දැකීම්වල සාරාංශය :
1. ජාත්‍යන්තර මුල්‍ය සංස්ථාව (IFC) සහ සණස සංවර්ධන බැංකුව එක්ව පිරිනමන ලද සුළු, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය ක්‍රමය යටතේ සීතා මැණිකේ මහත්මියට රු.10,000 ක ණය මුදලක් හිමි විය. එම ණය මුදලින් ඇගේම කියා පැළ තවානක් ආරම්භ කළ ඇය වර්තමානයවන විට ස්වාධීනව දෙපයින් නැගී සිටියි.
2. අනුරාධපුරයේ මහවිලච්චිය ප්‍රදේශයේ පදිංචි විජේසිරි ගොවි මහතා, ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහයෝගයෙන් යුතුව වෙළඳපලේ අධික ඉල්ලුමක් පවතින ලොකු ලූනු ධාරිතාව වැඩි කිරීම සඳහා ලොකු ලූනු සරු බීජ වගා කිරීමේ කටයුතු ආරම්භ කළේය.
3. ජුලියට් හෙලන්ගේ ජීවන අත්දැකීම් මන්නාරම දිස්ත්‍රික්කයේ මුරුගන් ප්‍රදේශයේ පදිංචි බොහෝ කාන්තාවන්ගේ ජීවන අත්දැකීම්වලට සමාන්තරය. ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) සහ ජාතික තරුණ සේවා සභාව එක්ව එම කාන්තාවන් හට ඇඟලුම් ක්ෂේත්රයේ පුහුණුව ලබා දෙමින්, ඔවුන්ගේ නිෂ්පාදන සඳහා වෙළඳපලක් නිර්මාණය කර දීමට පෙර ලාභදායී ආදායම් මාර්ගයක් උත්පාදනය කර ගැනීමට නොහැකිව ඔවුහු ලත වූහ.
4. "අකුරට එහා" ලෙස නම් කර ඇති සේයාරුව ආර්ථික සහ සමාජ සාධක හේතුවෙන් පාසල හැර ගිය සහ පාසලට පැමිණීමට නොහැකි ළමුන්ගේ යථා ස්වභාවය නිරූපණය කරයි. එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) සහ OfERR සංවිධානය එක්ව ක්‍රියාත්මක කරන ලද දරුවන්ට අධ්‍යාපන ප්‍රවර්ධන වැඩසටහන තුළින් එම දරුවන්ගේ ජීවිත සුබදායී වෙනසකට ලක් කිරීමට හැකි විය.
5. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) මගින් ප්‍රදර්ශනය කරනු ලබන සේයාරූ ද්විත්වය මගින් හම් සහ තල් ආශ්රිත නිෂ්පාදන සඳහා වවුනියාව දිස්ත්‍රික්කයේ විශේෂ අවධානයට ලක් විය යුතු කාන්තාවන්ගේ කුසලතා වර්ධනය කෙරුණු ආකාරයත් වාහරේ ප්‍රදේශයේ තරුණ තරුණියන් හට රාජ්‍ය සේවාවන් සමග කටයුතු කිරීමට අවශ්‍ය නායකත්වයේ සහ ව්‍යවසාය කුසලතා වර්ධනය කෙරුණු ආකාරයත් නිරූපිතය.
6. ව්‍යාපෘති සේවා සඳහාවන එක්සත් ජාතීන්ගේ කාර්යාලය (UNOPS) කාත්තන්කුඩි ප්‍රදේශයේ බරපතළ ගැටළුවක්ව පැවති කැලි කසළ ගොඩගැසීම පාලනය කිරීම සඳහා ව්‍යාපෘතියක් දියත් කළේය. කාත්තන්කුඩි නගර සභාව සහ UNOPS ආයතනය ඊට අවශ්‍ය පහසුකම් සහ පුහුණුව ද, අපද්‍රව්‍ය බැහැර කිරීම අවම කිරීම, යළි භාවිතයට ගැනීම සහ ප්රතිචක්රීයකරණය පිළිබඳ මහජනතාව දැනුම්වත් කිරීමට කටයුතු කළේය. කොම්පෝස්ට් නිෂ්පාදනය තුළින් සාර්ථක ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රමවේදයක් ස්ථාපනය කිරීමට මෙමගින් හැකි විය.
ඡායාරූප ශිල්පිනී ලේඛා එදිරිසිංහ මෙනවිය විසින් ඡායාරූපගත කරන ලද ඡායාරූප 50 ක් සහ රංග ජාගොඩ මහතා විසින් නිෂ්පාදනය කරන ලද කෙටි චිත්‍රපට හතක් ඇසුරින් මෙම ජීවන අත්දැකීම් ප්‍රතිනිර්මාණය කර ඇත.
"යුද්ධයෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත සියැසින් දැකබලා ගැනීමටත්, මෙම සංවර්ධන වැඩසටහන තුළින් ඔවුන්ගේ ජීවිත වල සිදු වී ඇති සැබෑ වෙනස ඡායාරූපය නැගීමටත් මා හට හැකි වුණා." ලේඛා එදිරිසිංහ මෙනවිය ප්‍රකාශ කළාය.
මිලියන භාගයකට අධික ජනතාවක් ආවරණය කරමින් යුද්ධයෙන් පීඩාවට පත් දිස්ත්‍රික්ක හතක් ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා රජයේ ආර්ථික සහ සමාජ සංවර්ධන ව්‍යාපෘතියට අනුග්‍රාහකත්වය ලබා දෙන යුරෝපා සංගමය සහාය දෙන දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහනේ (EU-SDDP) සුවිශේෂී පියවරක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. යුරෝපා සංගමය සහය දෙන දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන සමස්ත සංවර්ධන ව්‍යාපෘති සඳහා ලබා දෙන ආධාර මුදල යුරෝ මිලියන 60 කි.
Video Story