October, 11, 2014
මෙරට ප්‍රමුඛතම විලාසිතා අලෙවිසැල් ජාලයක් වන ඔඩෙල් පී.එල්.සී. සමාගමේ ප්‍රධානතම කොටස්කරුවා වන මැලේසියානු සමාගමට අයත් සියළුම කොටස් සොෆ්ට්ලොජික් සමූහයට රුපියල් බිලියන 2.8 කට ආසන්න මිලකට අලෙවි කිරීමට තීන්දු කර තිබේ.
මැලේසියානු කොටස් වෙළඳ පොළට මේ බව දැනුම් දෙමින් මේ වනවිට ඔඩෙල්හි සියයට 47.46 ක බහුතර කොටස් ප්‍රමාණය හිමි Parkson Retail Asia Ltd සමාගම අනාවරණය කර තිබෙන්නේ සොෆ්ට්ලොජික් සමූහයට අයත් සොෆ්ට්ලොජික් හෝල්ඩින්ග්ස් පී.එල්.සී. සහ සොෆ්ට්ලොජික් රිටේල් ප්‍රයිවට් ලිමිටඩ් විසින් පසුගියදා ඉදිරිපත් කළ අනිවාර්ය අර්පණය (Mandatory offer) සමාගම විසින් පිළිගත් බවයි.
Parkson Retail Asia Ltd සමාගමේ ප්‍රධාන විධායක නිළධාරීවරයා වන Toh Peng Koon විසින් කර තිබෙන මෙම නිවේදනයේ සඳහන් වන්නේ කොටසක් රුපියල් 22 ක් බැගින් සමාගමට ඔඩෙල්හි සතු සියළුම කොටස් ප්‍රමාණය වන කොටස් මිලියන 129.1 ක් මෙහිදී විකුණා දමන බවයි.
ඔඩෙල්හි සමාරම්භක ඔටාරා ගුණවර්ධන මහත්මිය ඇතුළු පවුලට අයත් සියයට 45.16 ක කොටස් රුපියල් බිලියන 2.7 කට පසුගියදා මෙරට ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන අශෝක් පතිරගේ මහතා ප්‍රධානීත්වය දරණ සොෆ්ට්ලොජික් සමූහය විසින් මිලදීගන්නා ලදී.
මෙම මිලදී ගැනීම කොටසක් රුපියල් 21.80 ත් රුපියල් 22.00 අතර මිලකට සිදුකළ අතර සමාගමේ ඉතිරි කොටස් ප්‍රමාණය මිලදී ගැනීමට කැමැත්ත දක්වමින් පසුගියදා සොෆ්ට්ලොජික් ඉදිරිපත් කළ අනිවාර්ය අර්පණයෙන් (Mandatory offer) පැවසුණේ ඔඩෙල්හි, ඉතිරි සියයට 54.84 ක් වන කොටස් ප්‍රමාණය කොටසක් රුපියල් 22 බැගින් මිලදී ගැනීමට සූදානම් බවයි.
Parkson Retail Asia Ltd සමාගම විසින් 2012 ජූලි මාසයේදී ඔඩෙල්හි කොටස් මිලදීගත් අතර ඒවා නැවත සොෆ්ට්ලොජික් සමූහයට විකිණීම මගින් ප්‍රාග්ධන ලාභයක් ලැබෙන බව මැලේසියානු කොටස් වෙළඳ පොළට සඳහන් කර තිබේ.
පසුගිය සැප්තැම්බර් 22 වනදා සිට බලපැවැත්වෙන පරිදි සොෆ්ට්ලොජික් සමූහයේ සභාපතිවරයා වන අශෝක් පතිරගේ මහතා ඔඩෙල්හි, විධායක අධ්යක්ෂවරයා මෙන්ම සභාපතිවරයා ලෙස පත්වූ අතර ආචාර්ය සිවකුමාර් සෙල්ලයියා මහතා විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙසද, හරේෂ් කුමාර් කයිමාල් මහතා විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙසද පත් කළේය.
Parkson Retail Asia Ltd විසින් ඔඩෙල් කොටස් විකුණා දමන බවට මැලේසියානු කොටස් වෙළඳ පොළට කළ නිවේදනය මෙන්න!
Video Story