February, 16, 2026
මෙවර විස්සයි 20 ලෝක කුසලාන තරඟාවලියේ මූලික වටයේ ඉහළ ප්‍රේක්ෂක අවධානයක් දිනා ගත් ඉන්දියාව සහ පාකිස්තානය අතර තරඟය ඊයේ (15) කොළඹ දී අවසන් වූයේ ඉන්දීය පිලට පහසු ජයක් අත් කර දෙමිනි.
එහිදී තරඟයේ කාසිය වාසිය උරගා බැලීමේ අවස්ථාවට ඉන්දීය විස්සයි 20 නායක සූර්ය කුමාර් යාදව් එක් වූයේ සිය වමතෙහි වූ අධිසුඛෝපභෝගී අත් ඔරලෝසුවක් ද සමඟිනි. එය බොහෝ අත් ඔරලෝසු ලෝලීන්ගේ උකුසු ඇසට මහ නොහැරුණු දසුනක් විය.
වාර්තා වන අන්දමට එය ඉන්දියානු රුපියල් ලක්ෂ 34ක් පමණ වන අත් ඔරලෝසුවකි. ශ්‍රී ලංකාවේ මුදලින් රු. මිලියන 11ක් හෙවත් රු. කෝටි 1.1ට වඩා මිල අධික ඔරලෝසුවකි. එය ලොව ප්‍රකට අධි සුඛෝපභෝගී JACOB&CO Epic X Ram Janmabhoomi Titanium Edition මාදිලියේ අත් ඔරලෝසුවකි. ඉතා සීමිත ප්‍රමාණයක් පමණක් නිපදවා ඇති මෙම මාදිලියේ අත් ඔරලෝසු ලෝකයටම ඇත්තේ 49ක් පමණක් බව වාර්තා වේ.
කෙසේ නමුත් ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ අත් ඔරලෝසු විලාසිතා පිරික්සීමේ දී සූර්ය කුමාර් යාදව්ගේ අත් ඔරලෝසුව එතරම් මිල අධික එකක් නොවේ.
ඉන්දීය මාධ්‍ය වාර්තා කරන ආකාරයට, අතිසුඛෝපභෝගී අත් ඔරලෝසු සඳහා ඉන්දීය තුන්ඉරියව් ක්‍රීඩක හාර්දික් පාන්ඩ්‍යා ඉහළ ප්‍රසිද්ධියක් උසුලයි. ඔහු පළඳින අති දුර්ලභ Richard Mille RM 27-04 අත් ඔරලෝසුව, ඩොලර් මිලියන 2.34ක් හෙවත් ඉන්දියන් රු. කෝටි 20කට ආසන්න බව කියැවේ. එය ශ්‍රී ලංකාවේ මුදලින් රු. කෝටි 70ක් පමණ වනු ඇත. ලෝකයටම ඇත්තේ මෙම මාදිලියේ අත් ඔරලෝසු 50ක් පමණි.
මෙම අත් ඔරලෝසුවේ වටිනාකම, පාකිස්තානු ක්‍රිකට් පිලේ සියලු ක්‍රීඩකයින්ගේ වාර්ෂික වැටුප් හි එකතුවට සමාන බැව් කියැවේ.
Video Story