පැකර් ගේ කැසිනෝ ඉඩමේ අන්තර්ජාතික මූල්‍ය මධ්‍යස්ථානයක්

    November, 20, 2015

    දකුණු ආසියානු කලාපය තුළ භූගෝලීය වශයෙන් ශ්‍රී ලංකාවේ පිහිටීම උපයෝගී කරගනිමින් ජාත්‍යන්තර මූල්‍ය කේන්ද්‍රස්ථානයක් ලෙසින් ස්ථානගත වීමට අවශ්‍ය මධ්‍යස්ථානයක් පිහිටුවීමට පියවර ගෙන ඇති බව මුදල් අමාත්‍යවරයා සිය අයවැය කතාවේදී කියා සිටියේය.

    වර්ග අඩි තුන්ලක්ෂයක ඉඩක් මේ සඳහා තිබෙන බවත්, වාණිජ ආරවුල් ඉතා කෙටි කාලයක් තුළ දී විසඳීම සඳහා හැකිවන පරිදි වාණිජ අධිකරණයක් ද ඒ තුළ පිහිටුවන බවත් මෙරට නිතීයට අනුකූල වන පරිදි එය ක්‍රියාත්මක වනු ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය. එසේම මෙම මධ්‍යස්ථානයේ හවුල්කරුවන් වීමට දේශීය හා විදේශීය බැංකු වෙත මුදල් ඇමතිවරයා ආරාධනය කර සිටියේය.

    කොළඹ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය (Colombo International Financial Centre) යනුවෙන් නම් කර තිබෙන මෙම ව්‍යාපෘතිය සඳහා, පසුගිය රජය විසින් කැසිනෝ ව්‍යාපෘතියක් ද සමඟින් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් දියත් කිරීමට යෝජිතව තිබූ කොළඹ ඩී.ආර්. විජයවර්ධන මාවතේ පිහිටි භූමිභාගය යොදා ගැනීමට නියමිතය. මෙහි ඉදිකිරීම් කටයුතු 2016 අප්‍රේල් පළමු වැනි දා ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.