පැරණි කෝණයෙන්ම බලන්නේ නැහැ. කොටස් වෙළෙඳපොළට යන්න පුළුවන් ද බලනවා – ජනපති ආර්ථික සමුළුවේ දී කියයි

    January, 29, 2025

    මෙරට තුළ ක්‍රියාත්මක අසාර්ථක මෙන්ම දූෂීත පරිපාලන ව්‍යුහයක් සහිත රාජ්‍ය ආයතන දෙස පැරණි කෝණයෙන් නොබලා එම ආයතන තුළ ව්‍යූහාත්මක වෙනසක් සිදු කිරීමට තම රජය සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

    ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, ඊයේ (28) පස්වරුවේ කොළඹ දී ආරම්භ වූ "ශ්‍රී ලංකා ආර්ථික සමුළුව -2025" අමතමිනි.

    ඔහු එහි දී වැඩි දුරටත් පවසා සිටියේ එම ඇතැම් ආයාතන ඒකාබද්ධ කර හෝල්ඩිංග්ස් සමාගමක් හරහා යම් කොටස් ප්‍රමාණයක් කොටස් වෙළෙඳපොළට නිකුත් කිරීමේ හැකියාව පිළිබඳව මේ වන විට ඔවුන් අධ්‍යයනය කරමින් සිටින බවයි.

    ප්‍රශ්නය - "අපිට ඉතා පැහැදිලි. විදුලිය, ඛණිජ තෙල් සහ විදුලිය කියන ආයතන ඒ ඒරියාස් තුන ගැන. අනිත් ඒවා ගැනත් දැනගන්න කැමතියි. ඉස්පිරිතාල තියනවා. හෝටල් තියනවා. මෙතන අපේ රාජ්‍ය සංස්ථාවන් සිය ගානක් තියනවා ව්‍යාපාරවල ඉන්න අය. 200ක් විතර මම හිතන්නේ වෙනම තියෙනවා. එතකොට රජයේ ස්ථාවරය මොකක් ද? සමහර දේවල් පෞද්ගලික කිරීමේ කාරණය සම්බන්ධව.
    දෙවනි දේ පරිපාලනය සම්බන්ධව යම් කිසි වැඩපිළිවෙලක් තියනවා ද?"

    පිළිතුර - "පරිපාලනය සම්බන්ධව අලුත් වැඩපිළිවෙලක් අවශ්‍යයි. මෙතෙක් මේ ආයතන පවත්වාගෙනයාම සඳහා ගෙන යන ලද පරිපාලන ව්‍යූහය අසාර්ථකයි පමණක් නෙවෙයි, මේ පරිපාලනය අතිශය දූෂතයි. විනාශකාරී පරිපාලන ව්‍යුහයක්. ඒ නිසා අපේ රාජ්‍ය අයවැයට විශාල වැයබරක් බවට පත් වී තිබෙනවා මේ රාජ්‍ය ආයතන විශාල ප්‍රමාණයක්.ඒ නිසා පැරණි කෝණයෙන්ම මේ ආයතන දෙස අපි බලන්නේ නැතුව අපි මේ ආයතන ව්‍යුහාත්මක වෙනසකට ලෑස්තියි. විශේෂයෙන්ම අපි දැනට අධ්‍යයනය කරමින් ඉන්නවා, මෙම ආයතනයන් ඒකාබද්ධ කර හෝල්ඩිංග්ස් සමාගමක් හරහා යම් කොටස් ප්‍රමාණයක් කොටස් වෙළෙඳපොළට නිකුත් කරන්න පුළුවන් ද කියලා. අපි ඒකට සූදානම්. විශේෂයෙන්ම සංස්ථා සහ මණ්ඩල පිළිබඳ අපි හිතන්න සූදානම්."