පැරණි වාහන යළි මිලට ගන්නැයි ඉන්දීය රජයෙන් සමාගම්වලට නියෝගයක්

    December, 20, 2016

    දැනට ධාවනයේ යෙදෙන පැරණි සහ ධාවනයට සුදුසු නොවන මෝටර් රථ, අලෙවි කළ සමාගම් විසින්ම යළි මිලට ගත යුතු බවට නීතියක් ගෙන ඒමට ඉන්දීය රජය සූදානමින් සිටී. හින්දුස්ථාන් ටයිම්ස් පුවත් සේවය පවසන්නේ, දැනට ධාවනයේ යෙදෙන පැරණි කාර්, බස් සහ ට්‍රක් රථ රටේ පරිසර හා වායු දූෂණය කෙරෙහි බලපා ඇති ප්‍රධාන මූලාශ්‍රය වී ඇති බැවින් එවැනි රථ වාහන යළි මිල දී ගෙන ඒවා ප්‍රතිචක්‍රීයකරණය කළ යුතු බවට නීතියක් ගෙන ඒම ඉන්දීය රජයේ අරමුණ වී ඇති බවයි.

    මෙහිදී ඉන්දීය ප්‍රවාහන අමාත්‍යාංශය හඳුන්වාදීමට යෝජිත නව නීතිය අනුව වසර 15 කට වඩා පැරණි පුද්ගලික මෝටර් රථ සහ වසර 10 කට වඩා පැරණි පොදු ප්‍රවාහන රථ වාර්ෂිකව ඒවායේ යෝග්‍යතාවය පිළිබඳ සහතිකයක් ලබා ගත යුතු වේ. වර්තමානයේ දී ධාවනයට නුසුදුසු වාහනවලින් 70% ක් පමණ යළි විකිණීමට හෝ කෙසේ හෝ ධාවනයේ යෙදවීමට ඒවායේ හිමිකරුවන් කටයුතු කරනු ලබන බවත් මෙය ආර්ථික හා පාරිසරික වශයෙන් මෙන්ම සමාජයීය වශයෙන් ද ගැටළු ගණනාවකට හේතු වී ඇති බවත් වාර්තා වේ.

    ඉන්දීය මධ්‍යම අපවිත්‍රකරණ පාලන මණ්ඩලයේ (Central Pollution Control Board - CPCB) වාර්තාවලට අනුව 2015 වසර අවසාන වන විට මිලියන 8.7 ක වාහන ප්‍රමාණයක ආයු කාලය අවසන් ඇති බව සඳහන් වේ. මෙම ප්‍රමාණය 2025 වසර වන විට මිලියන 21.8 ඉක්මවනු ඇති බව එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දේ. මෙසේ ධාවනයෙන් ඉවත් කළ යුතු මෝටර් රථවලින් 80% ක් පමණ යතුරුපැදි බව ඉන්දීය මධ්‍යම අපවිත්‍රකරණ පාලන මණ්ඩලය මෙහිදී වැඩිදුරටත් කියා සිටී.

    ලොව පුරා රටවල් ගණනාවක මෙවැනි ක්‍රමවේදයක් දැනටමත් ක්‍රියාත්මක අතර BMW, Volkswagen, Toyota සහ Nissan වාහන නිෂ්පාදකයින් විසින් ලොව විවිධ ස්ථානවල මෙයාකාරයෙන් මෝටර් රථ ප්‍රතිචක්‍රීයකරණ මධ්‍යස්ථාක ස්ථාපිත කර තිබේ.