පැරිස් ප්‍රහාරය හමුවේ ලෝක ආර්ථිකය අඩපණ වන ලකුණු

    November, 16, 2015

    පසුගියදා ප්‍රංශයේ පැරිස් නුවරට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාර මාලාව හමුවේ ලෝක ආර්ථිකය දැඩි පසුබැස්සමකට ලක් වනු ඇතැයි විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

    මෙහිදී වැඩි වශයෙන් අවදානමට පාත්‍ර වී ඇත්තේ යුරෝපයේ සංචාරක ව්‍යාපාරයයි. පැරිස් නුවර ප්‍රහාරයට ලක්වීමත් සමඟම යුරෝපයේ තවත් නගර රැසක් ත්‍රස්තවාදීන්ගේ ඉලක්ක වී තිබෙන බැව් හමුදා බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබේ. මේ වාතාවරණය තුළ යුරෝපාකරය වෙත සංචාරකයින්ගේ අවධානය යොමු වීම සීඝ්‍රයෙන් පහළ යනු ඇතැයි වාර්තා වේ.

    විශේෂයෙන්ම නත්තල් සමය සඳහා තවත් ඇත්තේ ඉතා කෙටි කාලයක් වීමත්, මෙම කාලසමය පාරිභෝගිකයින් වැඩි වශයෙන් වියදම් සිදුකරන කාලයක් බැවින් පවතින අනාරක්ෂිත වටපිටාව, ව්‍යපාර කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කිරීමට ඉඩ තිබේ.

    විශේෂයෙන්ම ප්‍රංශ දළ ජාතික නිෂ්පාදිතයෙන් 7.5% ක් පමණ සමන්විත වන්නේ සංචාරක ව්‍යාපාරය හරහා එන ඉපැයීම්වලිනි. එබැවින් නත්තල් සමය වැනි උත්සව කාලවකවානුවක මෙවැනි අනාරක්ෂිත වටපිටාවක් නිර්මාණය වීම ප්‍රංශ ආර්ථිකයට පමණක් නොව සමස්ත යුරෝපානු ආර්ථිකය කෙරෙහිම එල්ල කරනුයේ මරු පහරකි.