පිං කැටේට බදු නැහැ – ආගමික ස්ථානවල ව්‍යාපාරවලට බදු පෙර පරිදිමයි

    April, 10, 2018

    පිං කැටේටත් බදු නමින් ප්‍රසිද්ධ කරනු ලැබූ චෝදනාවට කිසිදු පදනමක් නොමැති බවත්, ආගමික ස්ථානවලට ලබා දෙන ආධාර හෝ පිං කැට වෙත ලැබෙන මුදල් සඳහා බදු අය කිරීමට අදාළ කිසිදු වගන්තියක් නව දේශීය ආදායම් පනතට ඇතුළත් කර නොමැති බවත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි. නව දේශීය ආදායම් පනත පිළිබඳ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මේ බව කියා සිටී.

    කෙසේ වෙතත් එහි වැඩිදුරටත් සඳහන් වන්නේ කිසියම් ආගමික ස්ථානයක ව්‍යාපාර පවත්වාගෙන යන්නේ නම් එයින් ලබන ලාභය මත මෙයට පෙර පැවැති ආකාරයට ම බදු පැනවෙන බවයි.

    මේ අතර පුවත්පත්වල මෙන් ම විද්‍යුත් මාධ්‍ය සංවාදවල දී ද මතු කරනු ලබන, මරණාධාර සහ සුබ සාධක සමිතිවලින් බදු අය කිරීම පිළිබඳ චෝදනාව සම්පූර්ණයේ ම අසත්‍යය බවත්, මරණාධාර සහ සුබ සාධක සමිතිවලින් ලැබෙන පොලී ආදායම් නව පනත යටතේ බද්දකට යටත් කර නොමැති බවත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටී.