April, 18, 2017
කුසලතා මත රැකියා සඳහා පැමිණෙන විදෙස් ශ්‍රමිකයින් (Skilled Workers) හට ඕස්ට්‍රේලියානු රජය විසින් මෙතෙක් ප්රදානය කර තිබූ 457 වීසා ප්‍රතිපත්තිය වහාම අහෝසි කරන බව ඕස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් අද (18) දින විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේය.
457 වීසා වැඩසටහනට අනුව තාවකාලික රැකියා වීසා (Temporary work visas) ප්රදානය කිරීමක් සිදුකරනු ලැබූ අතර එහිදී කුසලතා පූර්ණ විදෙස් ශ්‍රමිකයින් හට ඕස්ට්‍රේලියාවට පැමිණ රැකියාවන් හි යෙදීම සඳහා වසර 4 ක කාලයක් දක්වා වන වීසා ලබා දීමක් මෙතෙක් සිදුකරන ලදී.
මෙහිදී එම විදෙස් ශ්‍රමිකයා ගෙන්වා ගැනීම සඳහා ඕස්ට්‍රේලියාවේ අදාළ සමාගම විසින් අනුග්‍රාහකත්වය ලබා දිය යුතු අතර සිය ආයතනයේ සේවය සඳහා අවශ්‍ය ශ්‍රමිකයින් සපයා ගැනීමට ඕස්ට්‍රේලියාව තුළ පුරවැසියන් හෝ ස්ථිර පදිංචිය හිමි පුද්ගලයින් නොමැති බව තහවුරු කළ යුතු විය.
මෙහිදී නව වීසා ප්‍රතිපත්තිය ආකාර දෙකකින් සමන්විත බව ප්‍රකාශ වී තිබේ.
මේ අනුව දෙවාර්ෂික පුහුණු රැකියා වීසා සඳහා පූර්ව රැකියා පළපුරුද්ද අනිවාර්ය වේ. එසේම සිව්වාර්ෂික වීසා සඳහා ඉහළ ඉංග්‍රීසි භාෂා නිපුණත්වයක් අත්‍යාවශ්‍ය වන අතර අපරාධ පිලිබඳ ඉතිහාස වාර්තාවක් සැපයීමම ද අනිවාර්යය වනු ඇත.
කෙසේ වෙතත් 457 වීසා වැඩසටහන යටතේ දැනට ඕස්ට්‍රේලියාව තුළ සේවයේ යෙදෙන විදෙස් ශ්‍රමිකයින් සඳහා මෙම නීතිය බල නොපාන බව ඕස්ට්‍රේලියානු අගමැතිවරයා වැඩිදුරටත් කියා සිටී.
Video Story