පිට පිටම තෙවන වසරටත් කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකාවේ හොඳම අන්තර්ජාල බැංකුව ලෙස සම්මාන ලබයි

    June, 2, 2018

    ශ‍්‍රී ලංකාවේ හොඳම අන්තර්ජාල බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව පිට පිටම තෙවන වරටත් ගෝලීය වශයෙන් ගෞරවාදරයට සහ කීර්තියට පත්ව තිබෙන එංගලන්තයේ බැංකුකරණ සහ මූල්‍ය විමර්ශන සඟරාවක් වන ග්ලෝබල් බෑන්කිං ඇන්ඞ් ෆයිනෑන්ස් රිවීව් විසින් තෝරාගෙන තිබේ.

    මෙම සම්මානය ලබාදෙන්නේ අන්තර්ජාලය සහ ඩිජිටල් මාධ්‍යය ඔස්සේ තම ගනුදෙනුකරුවන්ට උසස් ගුණාත්මක තත්ත්වයකින් යුතු සේවාවන් සහ නවෝත්පාදනයන් ලබාදෙන ගෝලීය මූල්‍ය සමාගම් ඇගයීම සඳහායි.

     

    නව්‍ය සහ පෙරළියක් ඇතිකරන අන්තර්ජාල, ජංගම දුරකතන සහ ඩිජිටල් බැංකු සේවා සංවර්ධනය කර හඳුන්වාදීමේදී කොමර්ෂල් බැංකුව ඉදිරියෙන්ම සිටිනවා“, යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් බැංකුවේ ප‍්‍රධාන මෙහෙයුම් නිළධාරී, එස්. රෙන්ගනාදන් මහතා පැවසීය. “අපගේ අන්තර්ජාල බැංකු සේවාවල නම්‍යතාවය සහ සමීපවීම මේ වනවිට කැපී පෙනෙන ලෙස වර්ධනය කර තිබෙනවා. මෙම ගෞරවණීය සම්මානය ලැබීම පිළිබඳව අපි සතුටට පත් වෙනවා.“  

     

    2017 වසර අවසානයේදී කොමර්ෂල් බැංකුවේ අන්තර්ජාල බැංකුකරණ ගනුදෙනුවල වටිනාකම රුපියල් බිලියන 663 ක් දක්වා වර්ධනය වී තිබෙන අතර ශ‍්‍රී ලංකාවේ වඩාත්ම ජනප‍්‍රිය ඩිජිටල් ගෙවීම් පද්ධතියක් ලෙස මෙය කැපී පෙනේ.

     

    ශ‍්‍රී ලංකාවේ වැඩිම පිරිසක් සම්බන්ධවී තිබෙන අන්තර්ජාල ගෙවීමේ පද්ධතිය වන කොමර්ෂල් බැංකුවේ අන්තර්ජාල බැංකුකරණ පද්ධතිය මගින් තනි තනි ගනුදෙනුකරුවන්ට සහ ආයතනික ගනුදෙනුකරුවන්ට අරමුදල් කළමනාකරණයේ විවිධ විකල්ප අවස්ථා මාලාවක් ලබාදීම මගින් ඔවුන්ගේ පහසුව වැඩිකර තිබේ. මෙම අන්තර්ජාල බැංකුකරණ පද්ධතිය මගින් විවිධ වූ ගිණුම් අතර අරමුදල් හුවමාරුව, එම මොහොතේම හරස් විනිමය ගනුදෙනු (cross currency payments) කිරීම, දුරකතන, විදුලිය, ජලය, ණයපත්, රක්ෂණ වාරික, අධ්‍යාපන සේවා, ක‍්‍රීඩා සහ විනෝදාස්වාද සහ ගුවන් ටිකට්පත් මිලදීගැනීම ඇතුළු ආයතන 65 කට වැඩි ප‍්‍රමාණයක බිල්පත් ගෙවීම ඇතුළු පහසුකම් මාලාවක් ලබාදී තිබේ. එසේම කොමර්ෂල් බැංකුවේ අන්තර්ජාල බැංකු පද්ධතිය ඔස්සේ බැංකුවේ අන්තර් ජාල බැංකු ගනුදෙනු කරුවන්ට ස්ථාවර තැන්පතු, පුද්ගලික ණය සහ නිවාස ණය යන පහසුකම් ලබාගැනීම සඳහා අයදුම් කිරීමට අවස්ථාව ලබාදී තිබෙන අතර භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කිරීම, මධ්‍යම තැන්පතු ක‍්‍රමයේ ලියාපදිංචි වෙමින් කොටස් මිලදී ගැනීම වැනි අවස්ථාද හිමිකර දී ඇත.

     

    කොමර්ෂල් බැංකුවේ නව්‍ය ආයතනික අන්තර්ජාල ගෙවීමේ පද්ධතිය ඔස්සේ ආයතනික ගනුදෙනුකරුවන්ට සේවක වැටුප්, EPFසහ ETF වැනි ව්‍යවස්ථාපිත ගෙවීම්, කොමිස්, පොලී සහ රක්ෂණ ගෙවීම්, ලාභාංශ ගෙවීම්, සමූහ බිල්පත් ගෙවීම් සහ ශ‍්‍රී ලංකා රේගුවට බදු ගෙවීම් ඇතුළු ගෙවීම් මාලාවක් සිදුකළ හැකිය.  මෙම පද්ධතිය විසින් තනි, ද්විත්ව සහ බහු අනුමැතීන් ලබාගැනීම සහ සමාගමේ පාලකයෙකු පත්කිරීම සඳහා පහසුකම් සපයයි.  

    මෙවර කොමර්ෂල් බැංකුව සම්මානයට බඳුන්කර තිබෙන ග්ලෝබල් බෑන්කිං ඇන්ඞ් ෆයිනෑන්ස් රිවීව් නැමති මෙම ප‍්‍රමුඛතම අන්තර්ජාල සහ මුද්‍රිත සඟරාව රටවල් 200 කට වැඩි ගණනක විසිරී තිබෙන Fortune 500 සමාගම්, ප‍්‍රධාන පෙළේ බැංකු, මූල්‍ය ආයතන, මහ බැංකු යන ආයතනවල ප‍්‍රධාන විධායක නිළධාරීන්, ප‍්‍රධාන මූල්‍ය නිළධාරීන්, ජ්‍යෙෂ්ඨ ප‍්‍රතිපත්ති තීරකයින් සහ  මූල්‍ය වෙළඳපොළ සහ ප‍්‍රවෘත්ති කෙරෙහි උනන්දුවක් දක්වන පුද්ගලයින් පරිශීලනය කරන කීර්තිමත් ප‍්‍රකාශනයකි.

     

    කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම හත් වතාවක් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන අතර මෙරට තුළ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 767 ක් සහ බැංකු ශාඛා 261 ක් පවත්වාගෙන යයි. 2016 වසරේදී සහ 2017 වසරේදී ප‍්‍රමුඛතම ජාත්‍යන්තර සහ දේශීය සම්මාන 30 කට වැඩි ප‍්‍රමාණයක් දිනාගැනීමට සමත්ව තිබෙන කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව, හොඳම වෙළඳ බැංකුව, ශක්තිමත්ම බැංකුව සහ වඩාත්ම ගෞරවණීය බැංකුව ලෙස වසර ගණනාවක් දෙස් විදෙස් ආයතන සහ ප‍්‍රකාශන විසින් සම්මානයට පාත‍්‍රකර තිබේ.

     

    කොමර්ෂල් බැංකුවේ විදේශ මෙහෙයුම් කටයුතු සැලකීමේදී බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් පවත්වාගෙන යන අතර මියන්මාරයේ යැන්ගොන්හි, නියෝජිත කාර්යාලයක් පවත්වාගෙන යයි. කොමර්ෂල් බැංකුව විසින් මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවක් ආරම්භ කරන ලදී. මේ අතර, බැංකුව විසින් තමන්ටම අයත් මුදල් පේ‍්‍රෂණ සේවාවක් ඉතාලියේ පවත්වාගෙන යයි.