පීපල්ස් ඉන්ෂුවරන්ස් කොටස් හිමියන්ට ලාභයෙන් 50% ක්

    January, 12, 2016

    අද දින සිය ද්විතීයික කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ආරම්භ කළ පීපල්ස් ඉන්ෂුවරන්ස් සමාගමේ ලාභයෙන් 50% ක් ලාභාංශ වශයෙන් බෙදාදීමට පියවර ගන්නා බව එම සමාගමේ කළමානාකාර අධ්‍යක්ෂ ඩී.පී. කුමාරගේ මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ අද දෙරණ Biz කළ විමසීමකට පිළිතුරු දෙමිනි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කුමාරගේ මහතා මෙසේ කියා සිටියේය. “අපිට මෙම සමාගම ලැයිස්තුගත කිරීමේ අවශ්‍යතාවයක් තිබුණා. කොටස් වෙළෙඳපොළ කාලයෙන් කාලයට උච්ඡාචවනය වෙනවා. මේ කාලය නම් වෙළෙඳපොළට එතරම් හොඳ කාලයක් නොවෙයි. අපි ඒ ගැන එච්චර උනන්දු වුණේ නැහැ, අපිට ඕන උනේ සමාගම ලැයිස්තුගත කරන්න පමණයි“.

    මේ අතර පීපල්ස් ඉන්ෂුවරන්ස් හි කළමනාකාර අධ්‍යක්ෂ ඩී.පී. කුමාරගේ මහතා වැඩිදුරටත් කියා සිටියේ සිය සමාගමේ ලාභයෙන් 50% ක් ලාභාංශ වශයෙන් බෙදාදීමට තීරණයක් ගෙන ඇති බවත්, මේ වසරේ ලාභයෙන් ඒ දේ කරන්නට හැකිවුවහොත් කොටස්කරුවන් හට 8 ½% -9% ක පමණ ලාභයක් ලබාගත හැකිවනු ඇති බවත් ය.

    ආයෝජන තීරණ ගැනීමේ දී කෙටිකාලීනව නොව දිගුකාලීන අවස්ථා විමසා බලා පියවර ගත යුතු බව ඒ මහතා වැඩිදුරටත් මෙහිදී පැවසීය.