January, 9, 2025
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බැංකු නොවන මූල්‍ය සේවා සමාගමක් වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ අධ්යක්ෂ මණ්ඩලයේ නව සභාපති ලෙස මහාචාර්ය අජන්ත සමරකෝන් පත් කර තිබේ. 2024 දෙසැම්බර් 31 දින සිට වලංගු වන පරිදි මෙම පත්වීම සිදු කර ඇති අතර, ඒ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය හිමි වී ඇත. විද්වතෙකු මෙන්ම ප්‍රවීණ වෘත්තිකයෙකු වන මහාචාර්ය සමරකෝන් දීර්ඝ කාලයක් පුරා විශ්ව විද්‍යාල, කර්මාන්ත සහ රාජ්‍ය සේවය යන ක්ෂේත්රවල අත්දැකීම් සම්භාරයක් ලබා තිබේ. පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම මේ වන විට මෙරට මූල්‍ය සේවා ක්ෂේත්රය තුළ තමන් මෙතෙක් අත්කරගත් සාර්ථකත්වය ඔස්සේ අඛණ්ඩව ඉදිරියට ගමන් කරමින් සිටින අතර, මෙම පත්වීම සමාගමේ නව යුගයක ආරම්භය සනිටුහන් කරනු නිසැක ය.
මීට පෙර මහාචාර්ය අජන්ත සමරකෝන් කැලණිය විශ්ව විද්‍යාලයේ වාණිජ හා කළමනාකරණ පීඨයේ වාණිජ හා මූල්‍ය කළමනාකරණ අධ්‍යයනාංශයේ මහාචාර්යවරයෙකු ලෙස සේවය කර තිබේ. එම විශ්ව විද්‍යාලයේම වාණිජවේදී (විශේෂ) උපාධියක් සහ පශ්චාත් උපාධියක් හිමි මහාචාර්ය සමරකෝන් චෙක් ජනරජයේ Tomas Bata විශ්ව විද්‍යාලයේ කළමනාකරණ හා ආර්ථික විද්‍යා පීඨයෙන් සිය ආචාර්ය උපාධිය හිමිකරගත්තේ ය. ඒ සඳහා ඔහුට චෙක් ජනරජයේ අධ්‍යාපන, තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය මගින් පිරිනමන ලද ‘Internationalisation Development’ ශිෂ්‍යත්වයක්ද හිමි විය. ආචාර්ය උපාධි හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මගපෙන්වීම ඇතුළු අධ්‍යාපනික දායකත්වයන්ට අමතරව ඒ මහතා ජාත්‍යන්තර සමුළු හා සම්මන්ත්රණ රැසකට සහභාගී වී ඇති අතර, ICBI 2017 සම්මන්ත්‍රණයේ සම-සභාපති ලෙසද කටයුතු කළේ ය. තවද ඒ මහතා ඕස්ට්‍රේලියාවේ CMA ආයතනයේ සහ ශ්‍රී ලංකාවේ Association of Accounting Technicians (AAT) ආයතනයේ සාමාජිකයෙකුද වේ.
මීට අමතරව ඒ මහතා මූල්‍ය හා අධ්‍යාපන ක්ෂේත්රයන්හි උන්නතිය වෙනුවෙන්ද කැපීපෙනෙන දායකත්වයක් ලබා දී ඇත. විගණන අධීක්ෂකවරයෙකු ලෙස වසර තුනක් සේවය කිරීම මගින් ඒ මහතා මූල්‍ය පාලනය සහ මෙහෙයුම් අධීක්ෂණය සම්බන්ධයෙන් අත්දැකීම් සම්භාරයක් හිමි කරගෙන තිබේ. 2006 වසරේ සිට අ.පො.ස. උසස් පෙළ විභාග ප්‍රධානී ලෙස කටයුතු කළ සමරකෝන් මහතා රාජ්‍ය හා පෞද්ගලික විශ්ව විද්‍යාලවල විෂය මාලාවන් සකස් කිරීම සඳහාද කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටු කර ඇත. එමෙන්ම විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ තත්ත්ව සහතිකකරණ හා ප්‍රතීතන කවුන්සිලය තුළ ඔහු ඉටු කළ මෙහෙවරද විවිධ ඇගයීම්වලට ලක් වී තිබේ.
මෙබඳු අධ්‍යාපනික හා වෘත්තීය සුදුසුකම් රාශියක් හිමි ප්‍රවීණ වෘත්තිකයෙකු අධ්යක්ෂ මණ්ඩල ප්‍රධානී ලෙස පත්වීම් ලැබීම පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම ලැබූ ආශීර්වාදයක් වනු ඇති අතර, එය නවෝත්පාදනය, තිරසාරත්වය හා විශිෂ්ටත්වය ඔස්සේ අනාගතය වෙත පියනගමින්, ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සේවා ක්ෂේත්රයේ ප්‍රමුඛයා ලෙස අඛණ්ඩව පෙරමුණේ සිටීමට සමාගමට මහෝපකාරී වනු නිසැක ය.
Video Story