පීපල්ස් ලීසිං සමාගම රජයේ රෝහල් 15ක හදිසි අනතුරු අංශවලට රුපියල් මිලියන 24ක ශල්‍ය වෛද්‍ය උපකරණ පරිත්‍යාග කරයි

    June, 21, 2016

    පීපල්ස් ලීසිං සමාගමේ 20වන සංවත්සරයට සමගාමීව දිවයින පුරා පිහිටි රජයේ ප‍්‍රධාන රෝහල් 15ක හදිසි අනතුරු අංශවලට රුපියල් මිලියන 24කට වැඩි වටිනාකමකින් යුත් ශල්‍ය වෛද්‍ය උපකරණ කට්ටල එම සමාගම විසින් සංකේතාත්මකව පරිත්‍යාග කරනු ලැබීය. එම පරිත්‍යාගය සිදු කළේ පීපල්ස් ලීසිං සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී, ඞී.පී. කුමාරගේ මහතා හා පීපල්ස් ලීසිං සමාගමේ අධ්‍යක්ෂ, මහජන බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරී, වසන්ත කුමාර් මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා පැවති එම සමාගම විසින් නවීකරණය කළ කොළඹ ජාතික රෝහලේ පුහුණු මධ්‍යස්ථාන ශ‍්‍රවණාගාරය නිල වශයෙන් විවෘතකිරීම හා එහි සමරු ඵලකය නිරාවරණය කිරීමේ උත්සවයේදීය. රජයේ රෝහල්වල හදිසි අනතුරු අංශවලට සැපයීමට පීපලස් ලීසිං සමාගම විසින් පරිත්‍යාග කළ එම ශල්‍ය වෛද්‍ය උපකරණ කට්ටල පීපල්ස් ලීසිං සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී, ඞී.පී. කුමාරගේ මහතා විසින් ශී‍්‍ර ලංකා විකලාංග වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති, ශල්‍ය වෛද්‍ය, එච්.ජේ. සුරවීර මහතා වෙත සංකේතාක්මකව පිරි නැමුණි.

    කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ, වෛද්‍ය, අනිල් ජාසිංහ මහතාගේ ඉල්ලීම මත පීපල්ස් ලීසිං සමාගම රුපියල් මිලියන 4ක වියදමින් පුහුණු මධ්‍යස්ථාන ශ‍්‍රවණාගාරය නවීකරණය කරනු ලැබුවේ වසර 25කට පසුව වීම විශේෂත්වයකි. කොළඹ ජාතික රෝහලේ පුහුණු මධ්‍යස්ථාන ශ‍්‍රවණාගාරයෙහි සිදු කළ නවීකරණය යටතේ විදුලි පහන් පද්ධතිය හා දේශන පුටු අලූත්වැඩියාව, බිත්ති හා සීලිම නවීකරණය, නව වායු සමීකරණ පද්ධතියක් සවිකිරීම සිදු කෙරුණි. එයට අමතරව එම ශ‍්‍රවණාගාරයට අත්‍යාවශ්‍ය ශ‍්‍රව්‍ය දෘෂ්‍ය උපකරණවන පරිගණක, මුද්‍රණ හා ස්කෑනර් යන්ත‍්‍ර, ඩිජිටල් කැමරාව, බහු මාධ්‍ය සම්පේ‍්‍රෂණ තිරය, පෝඩියම්, ලැප්ටොප් පරිගණක 2ක්, වයිට්බෝර්ඞ් හා LED රූපවාහිනියක්ද පීපල්ස් ලීසිං සමාගම විසින් පරිත්‍යාග කරනු ලැබීය.

    තවද, පීපල්ස් ලීසිං සමාගම විසින් නවීකරණය කළ කොළඹ ජාතික රෝහලේ පුහුණු මධ්‍යස්ථානය නිල වශයෙන් වීවෘතකිරීමේ උත්සවයට සමගාමීව ‘මහමග අනතුරු වළකමු’ තේමාව යටතේ ජනතාව දැනුවත්කිරීමේ දැවැන්ත පාගමනක් ද එම සමාගම විසින් සංවිධානය කරන ලදී. පීපල්ස් ලීසිං ප‍්‍රධාන කාර්යාලීය හා ශාඛා කාර්ය මණ්ඩලය, පීපල්ස් ඉන්ෂුවරන්ස්, පීපල්ස් ලීසිං ෆ්ලීට් මැනේජ්මන්ට්, පීපල්ස් මයික්‍රෝෆයිනෑන්ස්, පීපල්ස් ප්‍රොපටි ඩිවලොප්මන්ට් හා හැව්ලොක් ප්‍රොපටීස් යන අනුබද්ධිත සමාගම් ඒකාබද්ධව සංවිධානය කළ මෙම දැවැන්ත පා ගමන බොරැල්ලේ පිහිටි පීපල්ස් ලීසිං ප‍්‍රධාන කාර්යාල පරිශ‍්‍රයෙන් ආරම්භ වී කොළඹ ජාතික රෝහල වෙත ගමන් කෙරුණි. මෙම දැනුවත්කිරීමේ පාගමනට කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය, ශ‍්‍රී ලංකා පොලීසිය, ජාතික ගමනාගමන කොමිෂන් සභාව හා බොරැල්ල අවට පාසල් 5ක සිසුන් ඇතුළුව 1,500ට අධික පිරිසක් සහභාගිවූ අතර එයට මහජනතාව දැනුවත් කෙරෙන මාරක අනතුරු පිළිබඳ දත්ත, අනතුරු බහුලව සිදුවීමට හේතු, ඒවා මඟහරවා ගත හැකි ආකාරය, මහමඟ අනතුරු හේතුවෙන් සමාජයට හා රටට සිදුවන අහිතකර බලපෑම පිළිබඳව විවිධ නිර්මාණාත්මක ඉදිරිපත්කිරීම් ඇතුළත් විය.

    මෙම අවස්ථාවට ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා, වෛද්‍ය සමෘද්ධි සමරකෝන් මහත්මිය, ශ‍්‍රී ලංකා විකලාංග ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති, ශල්‍ය වෛද්‍ය එච්.ජේ. සුරවීර මහතා, ශල්‍ය වෛද්‍ය, ජී.එල්. පුංචිහේවා මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායම, ජාතික පුහුණු හෙද නිලධාරිණී පුෂ්පා රම්‍යානි සොයිසා මෙනෙවිය, ජාතික ගමනාගමන කොමිසමේ සභාපති, ඉංජිනේරු එම්.එ.පී. හේමචන්ද්‍ර මහතා ඇතුළු එම ආයතනවල කාර්ය මණ්ඩලයද සහභාගී වූහ.

    මෙම දැවැන්ත පා ගමන හැසිරවීමේදී ශී‍්‍ර ලංකා පොලිස් රථවාහන මූලස්ථානය මෙන්ම ශී‍්‍ර ලංකා පොලීසියේ බොරැල්ල, මරදාන හා කුරුදුවත්ත පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය ඉමහත් සහයෝගයක් ලබාදුණි.