පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ වයඹ පළාත් කාර්යාලයේ එක් දින සේවාවන් ඇරඹේ

    November, 4, 2025

    පුද්ගල අනන්‍යතාවය තහවුරු කිරීමේ ව්‍යවස්ථාපිත බලය හිමි එකම රාජ්‍ය ආයතනය වන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින්, මහජනතාවට වේගවත් හා කාර්යක්ෂම සේවාවක් ලබාදීමේ අරමුණින් පසුගිය කාලය තුළ විවිධ සංවිධානික හා තාක්ෂණික නවීකරණ ක්‍රියාමාර්ග ගෙන ඇත.

    අමාත්‍ය මණ්ඩල අනුමැතියට ලක් වූ යෝජනාවකට අනුව විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතියට බලය පවරා, දෙපාර්තමේන්තුවේ සේවා විමධ්‍යගත කිරීමේ කටයුතු ක්‍රියාත්මක කර ඇත. මේ මගින් පළාත් මට්ටමේදී නව කාර්යාල පිහිටුවා මහජනතාවට ආසන්නව සේවාව ලබාදීමේ පහසුව සලසා දී තිබේ.

    මෙහි වයඹ පළාත් කාර්යාලය කුරුණෑගල නගරයේ ස්ථාපිත කිරීමට තීරණය කර තිබූ අතර, එසේ ස්ථාපිත කලද විවිධ ගැටළු නිසා එක් දින සේවාව ආරම්භ කිරීමට නොහැකිව තිබුණි.

    කෙසේ නමුත් දිගු කාලීන ප්‍රයත්නයක ප්‍රතිපලයක් වශයෙන් අද දින මෙහි එක් දින සේවාව ආරම්භ කිරීමට අවකාශය උදාවී ඇත. ඒ අනුව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) දින එක් දින හැඳුනුම්පත් නිකුත් කිරීමේ සේවාව නිල වශයෙන් ආරම්භ කෙරින.

    මෙය ජනතා පහසුව ඉලක්ක කරගත් දැවැන්ත සේවා පහසුවක් වන අතර, දැනට ගාල්ල, නුවරඑළිය, මඩකලපුව සහ වවුනියාව යන ප්‍රදේශවල පළාත් කාර්යාල ක්‍රියාත්මක වන අතර, ඒ අතරින් ගාල්ල සහ නුවරඑළිය කාර්යාලවල එක් දින හැඳුනුම්පත් නිකුත් කිරීමේ සේවාව සාර්ථකව ක්‍රියාත්මක කරමින් පවතී.

    මෙම සේවාව ආරම්භ කිරීමෙන් පසු, වයඹ පළාතේ ජනතාවට තවදුරටත් කොළඹ පිහිටි ප්‍රධාන කාර්යාලය වෙත ගමන් කර තම හැඳුනුම්පත් ලබාගැනීමේ අවශ්‍යතාවක් නොමැති වන අතර, කුරුණෑගල පළාත් කාර්යාලය මගින් පැය කීපයක් ඇතුළතම එම සේවාව ලබා ගැනීමේ හැකියාව සපයනු ඇත.

    ආයෝජන අරමුදල් හා තාක්ෂණික සහය විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතිය මගින් සපයන අතර, ඉදිරි දිනවලදී අනෙකුත් පළාත් වලද මෙවැනි කාර්යාල විවෘත කිරීම සඳහා සැලසුම් කර තිබේ.

    මෙම අවස්ථාවට කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා, කුරණෑගල මහ නගර සභාවේ නගරාධිපති ආනන්ද සහබන්දු, ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේ වැඩබලන ලේකම් වරුණ ශ්‍රී ධනපාල, වයඹ පළාත් ප්‍රධාන ලේඛම් දීපිකා ගුණරත්න, කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් ඩී. එම්.කේ .සී දිසානයක, කුරුණෑගල අතිරේක දිස්ත්‍රික් ලේකම් (පරිපාලන) ජී. පී. එස්. ජේ ද සොයිසා සහ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් එම්. එස්.පී සූරියප්පෙරුම මහත්මිය ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්, රාජ්‍ය නිලධාරින්, සහ පළාත් පාලන නියෝජිතයින් පිරිසක් සහභාගී වූහ.

    මෙම නව පියවර මගින් රාජ්‍ය සේවාව මනාව ධාවනය කරමින් ජනතාවට නවීන තාක්ෂණය ඔස්සේ වේගවත් සහ විශ්වාසනීය සේවාවක් ලබාදීමේ අරමුණ තවත් අර්ථවත් කරනු ඇත.