පුද්ගලික අංශය සමඟ එක්ව නානුඔය සිට නුවරඑළිය දක්වා යළි දුම්රිය ධාවනයට සැලසුම්

    March, 7, 2025

    ශ්‍රී ලංකා දුම්රිය මෙන්ම දුම්රිය ස්ථාන වෙළඳ නාමකරණය කිරීම (Branding) සඳහා පෞද්ගලික අංශය සම්බන්ධ කර ගැනීමට ඉදිරියේ දී කටයුතු කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පවසයි.

    එහි දී අමාත්‍යවරයා පවසා සිටියේ අතීතයේ නානුඔය සිට නුවරඑළිය දක්වා ඉදිකර තිබූ දුම්රිය මාර්ගය අලුත්වැඩියා කර සංචාරයින් සඳහා පමණක් දුම්රිය ධාවනයට කටයුතු කිරීමට හැකි ද යන්න පිළිබඳව ශක්‍යතා අධ්‍යනයක් සිදු කරන බවයි.

    තව ද ඒ සඳහා පුද්ගලික සමාගම් වලට ඉදිරියේ දී අරාධනා කරන බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් පවසා සිටියේ ය.

    ඔහු මේ බව පවසා සිටියේ අද (07) පාර්මේන්තුවේදී යි.

    "අද දුම්රිය ගත්තම සම්පූර්ණයෙන්ම ආණ්ඩුව සතුව තියෙන්නෙ. නමුත් ඒකේ සමහර පැති තියනවා විශාල වශයෙන් පෞද්ගලික අංශයට සම්බන්ධකරගන්න පුළුවන්. අපි බලාපොරොත්තු වෙනවා දුම්රිය ඒ වගේම stations, brand කරන්න. අපි පෞද්ගලික අංශයට ආරාධනා කරනවා brandings වලට එන්න කියලා. ඒ වගේම ඉතාම විශේෂ යෝජනාවක් ආවා. මේ ලඟදි අපි එකතු කළා කලාකරුවො පිරිසක්. ඒ කලාකරුවො යෝජනා කළා, නානුඔය ඉදලා නුවරඑළියට කෝච්චි පාරක් අතීතයේ තිබුනා. දැන් නැහැ. අපි බලාපොරොත්තු වෙනවා, ඒක ටිකක් ඉතාම දුෂ්කර ප්‍රදේශයක්. ඒ වගේම මම හිතන්නේ නායයාමුත් තියන තැනක්. ඒ නිසා පොදු මගී ප්‍රවාහනයට නෙවෙයි නානුඔය ඉදලා නුවරඑළිය දක්වා තිබිච්ච දුම්රිය මාර්ගය අලුත්වැඩියා කරන්න පුළුවන් ද කියලා ශක්‍යතා අධ්‍යනයක් කරලා අන්න ඒ සඳහා විශේෂයෙන් අපි බලාපොරතේතු වෙනවා සංචාරක සමාගම් වලට පුද්ගලික සමාගම් වලට කැදවන්න නානුඔය ඉදලා නුවරඑළිය දක්වා අර commercial train එකක් නෙවයෙි tourist සඳහා පමණක් 8km ක් වගේ තියෙන්නේ. එහෙම දෙයක් කරන්න කැමති අයට අපි ඉදිරියේ දී බලාපොරොත්තු වෙනවා ආරාධනා කරන්න."