පුද්ගලික මෝටර් රථ එක්කර ගැනීමට Uber India රජයේ සහාය පතයි

    November, 28, 2016

    සිය කුලී මෝටර් රථ සේවාව සඳහා පුද්ගලික මෝටර් රථ යොදා ගැනීමට ඉන්දියානු රජයේ අනුමැතිය බලාපොරොත්තු වන බව Uber India කියා සිටී.

    මේ අනුව ඕනෑම මෝටර් රථයක් හිමි ඉන්දියානුවෙකු හට සිය මෝටර් රථය Uber සේවය සඳහා ලබා දීමට අවකාශ ලැබෙනු ඇත.

    මේ සම්බන්ධයෙන් ඉකොනොමික් ටයිම්ස් පුවත් සේවය වෙත අදහස් දක්වමින් Uber India හි ප්‍රතිපත්ති ප්‍රධානී Shweta Rajpal Kohli කියා සිටියේ මෙම කර්තව්‍ය සාක්ෂාත් කර ගැනීම සඳහා ඉන්දියානු රජය සමග කටයුතු කරන බවයි.

    මේ අනුව පුද්ගලික මෝටර් රථ හිමිකරුවන්ට සිය ගමනට වැය වන පිරිවැය තවත් අයෙකු සමග බෙදා හදා ගැනීම තුළින් අමතර ආදායමක් උපයා ගැනීමේ අවස්ථාව ඔවුන්ට හිමිවනු ඇත. කෙසේ වෙතත් ඉන්දියානු නීතිරීතීන් අනුව මෙවැනි කුලී රථ සේවාවක නියැලීම සඳහා රියැදුරුට හා වාහනයට වාණිජ බලපත්‍රයක් ලබා ගත යුතු වන අතර මෙම හඳුන්වා දීම වෙනුවෙන් ඉන්දියානු මෝටර් රථ නීති රෙගුලාසිවල වෙනස්කම් කිහිපයක් සිදුවිය යුතු බව Uber හි අදහසයි.