පුද්ගලික සමාගමකින් කෙරවලපිටියට සැපයුම් ගබඩා සංකීර්ණයක්

    February, 17, 2026

    සැපයුම් හා ගබඩා ව්‍යාපෘතින්හි නියුතු සමාගමක් වන එම්.ඒ.එස්. කොන්සොලිඩේටඩ් (පුද්ගලික) සමාගම වත්තල, කෙරවලපිටිය ප්‍රදේශයෙන් අක්කර 3-4 ප්‍රමාණයෙන් යුතු ඉඩම් කොටසක් සැපයුම් ගබඩා සංකීර්ණයක් ස්ථාපිත කිරීම සඳහා ලබා දෙන ලෙස ව්‍යාපෘති යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබ ඇත.

    එම ව්‍යාපෘතිය සඳහා, කෙරවලපිටියෙහි පිහිටි ප්‍රමාණයෙන් අක්කර 03 රූඩ් 02 පර්චස් 25.63ක් වන ඉඩම් කොටස යෝග්‍ය බවට හඳුනාගෙන ඇත.

    ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නියමයන්ට අනුගතව එම නව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා මාස් ෆ්‍රෙයිට් වේව් ටර්මිනල් (පුද්ගලික) සමාගම නමින් නව සමාගමක් ස්ථාපිත කර තිබේ.

    ඒ අනුව, අදාළ ඉඩම් කොටස එකවර අය කළ යුතු බදු මුදල වන රුපියල් මිලියන 305.99ක මුදල වාරික 02කින් ගෙවීමට සහ වාර්ෂිකව නාමික කුලිය ලෙස රුපියල් 90,000/-ක් ගෙවීමට යටත්ව, වසර 30ක කාලසීමාවක් සඳහා මාස් ෆ්‍රෙයිට් වේව් ටර්මිනල් (පුද්ගලික) සමාගම වෙත ලබා දීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.