පුරාණයේ සිටම වෙළඳ නගරයක් වන ගාල්ලට තවත් දායාදයක්

    September, 21, 2014

    ලෝක උරුමයක් ලෙස යුනෙස්කෝව විසින් නම්කළ ඓතිහාසික ගාලු කොටුවේ තිබෙන ලන්දේසි රෝහල නාගරික සංවර්ධන අධිකාරිය විසින් නවීකරණය කිරීමෙන් පසුව නවීන සාප්පු සංකීර්ණයක් ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් විවෘත කළේය.

    මෙම විවෘත කිරීමේ උත්සවය ඊයේ සන්ධ්‍යාවේ අති උත්කර්ශවත් අයුරින් පැවැත්වුණි.

    මෙය ඓතිහාසික ගරු ගාම්භීරත්වය සුරැකෙන පරිදි නවීකරණය කර තිබෙන අතර අත්කම්, චිත්‍ර, කුළුබඩු, ස්වර්ණාභරණ, මැණික්, තේ ඇතුළු භාණ්ඩ විකුණන අලෙවිසැල් සහ අවන්හල් වලින් සමන්විත වේ.

    ගාලු නගරයේ සිරි නංවන ඓතිහාසික ගාලු කොටුව සංචාරකයින්ගේ නොමද ආකර්ශනය දිනාගත් ස්ථානයකි. ගාලු කොටු පවුර නැරඹීමටත්, රේන්ද, ඉපැරණි භාණ්ඩ, මැණික් හා ස්වර්ණාභරණ මිලදී ගැනීමටත් ගාලු කොටුවට විදේශීය සංචාරකයින් විශාල ප්‍රමාණයක් දිනපතා පැමිණේ.

    කොටු පවුර තුළ ඓතිහාසික වැදගත් කමක් ඇති සංචාරක හෝටල් රැසක්ම තිබෙන අතර මනස්කාන්ත රූමස්සල කඳු වැටිය ඈතින් දිස්වේ.

    කොටු පවුරේ ඇවිදීමට සහ නිදහසේ සිටීමට ඇති ස්ථානවල සිට සවස් යාමයේ හිරු බසින ආකාරය මනස්කාන්ත දසුනකි.

    ගාලු කොටුව 1588 දී පෘතුගීසින් විසින් නිමවූවක් වන අතර පසුව ලන්දේසීන් විසින් එය 17 වන ශත වර්ෂයේදී පුළුල් ලෙස නවීකරණය කරන ලදී. මෙය ශ්‍රී ලංකාවට ඇති වාස්තුවිද්‍යාත්මක සහ පුරාවිද්‍යාත්මක දායාදයකි.

    ගාල්ල පුරාණයේ සිටම වෙළඳ නගරයක් ලෙස ප්‍රසිද්ධව පවතී. ගාලු වරාය, ඉන්දියන් සාගරය තුළ එහි පිහිටීම නිසාම සුවි‍ශේෂී වරායක් ලෙස ප්‍රසිද්ධව ඇති අතර ඇතැම් විද්වතුන්ගේ මතය වන්නේ පැරණි බයිබලයේ සඳහන් දකුණු ආසියාවේ මහා වෙළද නගරය වන ටර්ෂීෂ්, ගාල්ල විය හැකි බවයි.

    ගාල්ල නගරය සතුව පවතින පාසල් අතර ඇලෝසියස් විද්‍යාලය, මහින්ද විද්‍යාලය, රිච්මන්ඩ් විද්‍යාලය, සවුත්ලන්ඩ් බාලිකා විද්‍යාලය, සංඝමිත්ත බාලිකා විද්‍යාලය, රිපන් බාලිකා විද්‍යාලය ප්‍රමුඛස්ථානයක් ගනී. මෙම නගරය අනාධිමත් කාලයක සිට රේන්ද කර්මාන්තය සඳහා ප්‍රසිද්ධියක් උසුලයි.

    ගාල්ල නගරයෙන් බිහිවූ උගතුන් අතර මාර්ටින් වික්‍රමසිංහ, සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර , මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම, මහාචාර්ය සෙනරත් පරණවිතාන, මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර ප්‍රමුඛ වේ.

    සේයාරූවල දැක්වෙන්නේ ගාලු කොටු පවුර තුළ ඇති ලන්දේසි රෝහල සහ ගාලු කොටු පවුරයි (සේයාරූ අනුග්‍රහය- www.tripadvisor.com/tour.lk)

    ggjkjkkjkkk